Thursday, December 29, 2016

ප්‍රේමය යළි නිපදවීම : විරහවේ ආලෝකය නම් සපුතන්ත්‍රීය ප්‍රේම ලෝකය


සුදර්ශන සමරවීර විසින් ‘‘සපු මල සුවඳමය‘‘ කෘතියට ලියූ ලිපියකි. 

එක් අතකින් ඔබට පුළුවනි පරිසමාප්තියේ සියලු ආස්වාදයන් හඹා යා හැකි කිසියම් ආකාරයක මනා ලෙස සැලසුම් කරන ලද විවාහයක් ලබා ගැනීමට. අනෙක් අතින් ඔබ අනුරාගය නොතකන්නේ නම්, ඔබට අත්කර ගත හැකියි ප්‍රහර්ෂයෙන් (pleasure) පිරුණු විනෝදකාමී ලිංගික සබඳකම්. මේ දෘෂ්ටිකෝණයෙන් බලන කල මම ඇත්තටම හිතෙනවා අද දවසේ ලෝකය තුළ ප්‍රේමය මෙම ගැටයට, මෙම විෂම චක්‍රයට හසු වී තිබෙන බව. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේමය පවතින්නේ අවදානමක. එය රැක ගැනීම සඳහා පෙරට ඒම දර්ශනයේ මෙන්ම අනෙක් ක්ෂේත්‍රයන්ගේද කර්තව්‍යයක්. එයින් බොහෝවිට අදහස් වන්නේ රිම්බෝඩ් කවියාද කී ලෙස ප්‍රේමය යළි-නිපදවිය යුතු වන බවයි. එය හුදු පවතින තත්වය පවත්වාගෙන යාම සඳහා වන ආරක්ෂණ ක්‍රියාවක් විය නොහැකියි. ලෝකය නව වර්ධනයන්ගෙන් පිරී පවතින අතර ප්‍රේමයද කිසියම් නව්‍ය වූවක් විය යුතුයි. ආරක්ෂාව සහ සුවපහසුවට එරෙහිව අවදානම සහ සන්ත්‍රාසය නැවත සොයාගත යුතුයි.

ඇලේන් බදියු 

මේ රචනයේ අරමුණ නව ලිබරල් පරිභෝජනවාදයේ සොඳුරු ගොදුරක් වන යොවුන් ආදරය දෙස අතීතකාමයකින් තොරව විවේචනාත්මකව බලන්නට කුමාරදාස සපුතන්ත්‍රීගේ ගීත කලාවෙන් දාර්ශනික එළියක් ලබා ගැනීමට හැකිදැයි පරීක්ෂා කිරීමයි. කුමාරදාස සපුතන්ත්‍රී යනු ප්‍රේමය ගැන සුවිසල් ගීත සංඛ්‍යාවක් රචනා කොට රසික හදවත්හි පෙම් පහන් ඇවිලවූ සුන්දර ගී පද රචකයෙකි. ඒ පෙම් පහන් ආලෝකවත් වූයේ ඔහුගේ රචනාවලට තනු නිර්මාණය කළ අය හා කටහඬ ලබා දුන් කලාකරුවන් නිසා වන බව ඇත්තය. නමුත් මෙහිදී සපූගේ පද රචනාවලට සීමා වන්නට අපට සිදුවෙයි.

අවදානමෙන් මිදුණ අත්තටු : ආදරයේ අලුත් පිටු

අද අප අත්විඳින ස්ත්‍රී පුරුෂ ප්‍රේමය යනු අද අප ජීවත් වන සමාජයේ සංස්කෘතික තර්කණයේම ඵලයකි. එය අහඹු මිනිස් අභිමුඛවීමක අදිසි හටගැනීමක් නොව සැලසුම්කරන ලද ජීවිතයක නියත සොයාගැනීමක් දක්වා විතැන් වී ඇත. ගම, නගරය, පාසැල හෝ විශ්විද්‍යාලය, ආගමික ස්ථාන, බස් රථය හෝ දුම්රිය, රැකියා ස්ථානය ආදිය මෙන්ම අද කොම්පියුර් විද්‍යුත් තිරයද ආදර අවකාශයකි. නව ලිබරල් ධනවාදය විසින් මිනිසාගේ විවේකය ඇස්බැන්දුම්ශීලීව අහිමි කොට ඇති අතර ඔහුට සංස්කෘතික ජීවිතය යන්න “හුදෙකලා නිමේෂ” තුළ ගොඩනඟා දී ඇත. ෆේෂ්බුක් ඇතුලු සියලු සමාජ ජාල මාධ්‍ය එවැනි අවකාශවලට නිදර්ශන වේ. කාර්යබහුලත්වය නිසාම අපට අනෙක් අය සමග සුහද කතාබහකට, ක්‍රීඩාවක නිරතවීමට, සක්‍රීය දේශපාලනයේ නිරතවීමට, සාහිත්‍ය හා කලා සංවාදවල යෙදීමට, කඩේට ගොස් පත්තරයක් කියවීමට, පොතක් කියවීමට, සිනමා ශාලවකට ගොස් චිත්‍රපටයක් බැලීමට ආදී සංස්කෘතික ජීවිතය ගත කිරීමට ඇති කාලය ඉතා සීමිතය. ඒ නිසා පුද්ගලයාට තනිව ඉඳිමින් (කාර්යබහුලත්වය අතරේම) අර කී සංස්කෘතික කටයුතුවල නිරත වීමේ වාසනාව තාක්ෂණය විසින් උරුම කර දී ඇත. 

නමුත් ඒ වාසනාව ඇස්බැන්දුමක් බව පෙනෙන්නේ ආදරය වැනි මානුෂික අභිමුඛවීම් තාක්ෂණය විසින් මෙහෙයවන අන්දම දකින විටය. අද ෆේෂ්බුක් චැට්, ට්විටර්, ස්කයිප් ඇතුලු බොහෝ අවකාශ ආදරය මුණගස්වන අවකාශ ලෙස විශාල කාර්යක් කරයි. අනෙකාගේ සිරුර දැකීමෙන් හෝ තෙරපීමෙන් තොරව ලිංගික සුරතාන්තය ලබාගැනීම දක්වා වූ ආදර ප්‍රමෝදයක් මේ අවකාශ මගින් සලසයි. ඉන් අදහස් වන්නේ ඉහති කී ගම, නගරය, මගතොට, පාසැල් හෝ විශ්වවිද්‍යාල, රැකියා ස්ථාන ආදී මිනිස් අවකාශ තුළ ආදරය කරන්නේ නැති බව නොවේ. සංකල්පීය වශයෙන් වර්තමානයේ ආදරය අත් කරගෙන ඇති රූප විපර්යාසයයි. පරිණාමයයි. මේ පරිණාමය විසින් අත් කර දී ඇත්තේ මොනවාද? 

මෙවන් තත්වයක ආදරය කිරීම සාපේක්ෂ වශයෙන් ආරක්ෂා සහිතය. වියදම් අඩුය. අවධානම් දැරීමේ ප්‍රමාණයද සෑහෙන අඩුය. අනිත් අතට තමාගේ සැබෑ ස්වරූපය වෙනුවට තමා විසින්ම නිර්මාණය කළ ප්‍රතිරූපයක් මතින් සතුට සොයා යා හැකිය. ඔහු හෝ ඇය නොගැලපෙන්නේ නම් වහා අමතක කර දැමිය හැකිය. සිත් වේදනා අඩුය. මේ අර්ථයෙන් බලන කල මේ තත්වය ආදරයේ පෙර නොදුටු සුවපහසු කලාපයකි. ඒ අනුව අපේ සමාජය අද දුක් විඳීමකින් තොරව පරිසමාප්ත ප්‍රේමය ලබා ගන්නා බවක් බැලූ බැල්මට පෙනෙයි. ආදරය නිසා දීර්ඝකාලීනව වේදනා විඳින අය දැන් අඩුය. ආදර සබඳතා ලියලන තරමින්ම ආදර සම්බන්ධතා ලිහෙයි. ඒ සබඳතා ඉක්මනින් දියවී යන නිසාය. එසේ දියවන්නේ මේ ලිබරල් ධනවාදයත් සමග සබඳතාවල ස්වභාවය සබන්මය ස්වභාවයක් ගැනීම හෙවත් ද්‍රවශීලතාව ඉතා ඉහළ ප්‍රතිශතයක් ගැනීම නිසාය. 

මෙම රචනය සඳහා දාර්ශනික ආවේශය සපයා ගන්නා මීට වසර කිහිපයකට පෙර කෞශල්‍ය කුමාරසිංහ සහ විදුර ප්‍රභාත් මුණසිංහ එක්ව පරිවර්තනය කළ “ප්‍රේමය පසසනු වස්” නම් කෘතිය ප්‍රේමයේ පරිණාමය වෙත එල්ල කළ වෙඩිමුරයකි. එය ඇලේන් බදියු නමැති සුප්‍රකට දාර්ශනිකයා නිකොලස් ස්ට්‍රෝන් සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් වන In Praise of Love නම් කෘතියේ පරිවර්තනයකි. මේ කෘතියේදී ශ්‍රේෂ්ඨ දාර්ශනික ඇලේන් බදියු මෙසේ කියයි. “මට ඒත්තු ගන්වනු ලැබ ඇති පරිදි ප්‍රේමයට පූර්ණ අවධානම් විරහිත පදනමක් මත ලබා දෙන තිළිණයක් බවට පත් විය නොහැකියි.” 

පෙමට පැමිණෙන බාධා: සදා රස දෙයි සාදා

ඉතිහාසයෙහි සියලු යුගවලදීම, තෘප්තියෙහි මාවතෙහි ඇති ස්වභාවික බාධකයන් ප්‍රමාණවත් නොවූ සෑම විටකදීම ආදරය රසවිඳීමට හැකිවනු පිණිස මිනිස් වර්ගයා විසින් සම්ප්‍රදායානුකූල බාධකයන් ස්ථාපිත කෙරේ යන්න මනෝවිශ්ලේෂණයේ එන අදහසකි. මෙහිදී ඇඟවෙන්නේ ආදරයට පැමිණෙන නොයෙක් බාධා ආදරයේ ස්වභාවයෙහි අනිවාර්ය අංගයක් බවයි. එනම් ආදරයට බාධා නොමැතිව පැවැත්මක් නැත යනුයි. ලෝකප්‍රකට පරමාදර්ශී ආදර කතා එසේ පරාමාදර්ශී වීමට පෙම්වතුන්ට පැමිණෙන බාධා සැබැවින්ම බලපායි. රෝමියෝ-ජුලියට්, රාමා-සීතා, රාධා-ක්‍රිෂ්ණා, දස්කොන්-ප්‍රමිලා, සාලිය-අශෝකමාලා ආදී පුරාකතා ඒ වග සපථ කරයි. ඒ නිසා සැබෑ ආදරයේ නියතියක් ලෙස “ආදර බාධා” බාධාවකින් තොරව වැඩ කරන බව මට හැඟේ. ඒවා සංස්කෘතික තහංචි, නීති, කුල-මල ප්‍රශ්න, වයස හෝ උස-මිටි ප්‍රශ්න, මුදල්-දේපළ හෝ සමාජ තත්වය පිළිබඳ ප්‍රශ්න, භූගෝලීය සහ ප්‍රාදේශීයවාදී ප්‍රශ්න, පවුල්වාද හෝ නෑකම් පිළිබඳ ප්‍රශ්න ආදී නොයෙක් බාධාකිරීම් වන්නට පුළුවනි. එහිදී මේ සියලු බාධා දරාගෙන දිගින් දිගටම ආදර සම්බන්ධතාවක් පවත්වා ගැනීම සන්ත්‍රාසජනක වැඩකි. ප්‍රේමයට එන සියලු බාධක ඉවසමින් ආදර බැම්ම රැකගැනීම නම් අවධානම් දැරීමේ ක්‍රීඩාව පෙම්වතුන්ට ආගන්තුක දෙයක් නොවුණත් අද එවැනි අවධානම් දැරිය යුතු ආදර කලාප ලෙහෙසියෙන් හමු නොවේ. ඒ බාධා ජයගැනීම සඳහා විකල්ප ආදර අවකාශද ඕනෑවටත් වඩා නිර්මාණය වී තිබේ. නිර්මාණාත්මක සාහිත්‍යයේ යම් පිරිහීමක් (මා සිතන හැටියට නම් වෙනසක්) ඇතැයි පවසන විට ඉහත තත්වය ගැනද සිතිය යුතුය.

ප්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රී 

දැන් අපි සපූගේ ගීත රචනා කලාව වෙත එමු. මා දකින හැටියට සපුතන්ත්‍රීගේ ප්‍රේම ගීතාවලියේ එන වැදගත්ම ලක්ෂණයක් නම් ඒ සියලුම ප්‍රේම ගීත පාහේ “තම ආදරයට බාධා සහිත” පෙම්වතෙකුගේ ප්‍රකාශන වීමයි. නමුත් මා දන්නා ඔහුගේ කිසිම ගීයක කුලය, මුදල් ප්‍රශ්න ආදී සමාජ සාධක බාධක ලෙස නිරූපණය කරන බවක් සෘජුව නොපෙනෙයි. ප්‍රේමවන්තයන්ට ඇති වන බාධාව සෑමවිටම පාහේ සඟවා තැබෙයි. එය ස්ත්‍රියගේ චපලකම නිසා හෝ පුරුෂයාගේ නොසැලකිල්ල නිසා බිඳුන ආදරයක්ද නොවේ. 

සඳයි තරුවයි ලෙසින් ඉන්නට
නිසංසල අහසේ 
පෙරුම් පිරුවද වරම් නොලැබුණු 
අසන් පෙම්වතුනේ 
ඔබේ පුවතයි මේ 

.................................

නදී ඇළ දොළ හඬා වැළපී
ගෙන ගියේ ඔබෙ ස්නේහයයි 
සයුරු රළ පෙළ හැපී වෙරළේ 
සොයන්නේ ඒ ප්‍රේමයයි.. 

ප්‍රේමය යනු ඒ සොයා යාමේ මහා ව්‍යායාමය බව මටත් නිතර සිතේ. මේ ගීතයේ නම “සඳයි තරුවයි” වීම අප ඉහත විස්තර කළ කාරණය සාහිත්‍යරූපිකව කියාපායි. පුන් සඳ දිලෙන දා තරු නැති අතර තරු දීප්තියෙන් බබළන්නේ සඳ ඇබින්දක් නැති අමාවක දවසේය. අඩ සඳ සමග හෝ එකම අහසක සරන්නට නම් චන්ද්‍ර රැස් කදම්බයෙන් බෙහෙවින් ඈතින් සිටිය යුතුය. ආදරය වැඩියෙන් ලියලන්නේ දුරින් ඉන්නා විටයැයි කියන කල්පනාව සත්‍යයක් බව හඟවන්නට සපූගේ මේ “සඳයි-තරුවයි” අපව මෙහෙයවයි. “නිසංසල අහසක සඳයි තරුවයි” ලෙස එකට සිටීමේ අති සුන්දර-රොමැන්තික අදහස ආදරය පිළිබඳ මනෝවිශ්ෂණ පර්යාලෝකය හමුවේද සත්‍යයකි. අප ඉල්ලන ප්‍රේමය සඳහා ඇති බාධාවන් අඳුර සහ ආලෝකය වෙයි. අඳුර සහ ආලෝකය කරන්නේ අර නිසංසල අහසක සඳයි තරුයි එකට සිටීමේ ආදර සිහිනය බිඳ දැමීමයි. ඒ අහමි වරම ප්‍රාර්ථනා කිරීම ආදරයේ ස්වභාවය බව සපූගේ ගීත කලාවෙන් අපට කියයි. 

සපූගේ ඉහත “සඳයි-තරුයි ”ගීතයේ දෙවැනි ඛණ්ඩය ඇසුරින් අපි ආදරය පිළිබඳ මේ සංවාදයට අගුලු ලා තවත් අඩවියකට ඇතුලු වෙමු. 

ලොවම එකවර දකින්නට ඔහු
යොමු කළේ ඇයගේ නෙතයි 
ලොවට රහසින් හඬන්නට ඈ 
හුරු කළේ ඔහුගේ සිතයි.. 

වෙනස්කම් අතර අභිමුඛවීමක්: දෙකෙහි ජවනිකාව නම් ප්‍රේම ප්‍රපංචය

මෙය ඉතා පළල් ලෙස කළ යුතු සාකච්ඡාවක් වුවත් සපූගේ ගීතය වෙත එළඹීමේ වුවමනාවේ සිට දෙකෙහි ජවනිකාව සාරාංශගත කරමු. “ප්‍රේමය යනු හුදෙක් දෙදෙනෙක් හමුවීම සහ ඔවුන්ගේ ඇතුළට නැමුණු සම්බන්ධතාව පිළිබඳ වූවක් නොවෙයි. එය ගොඩනැංවීමක්. එනම් තව දුරටත් එකෙහි දෘෂ්ටිකෝණයෙන් නොව දෙකෙහි දෘෂ්ටිකෝණයෙන් නිර්මාණය කරනු ලබන ජීවිතයක් ” යනුවෙන් ඇලේන් බදියු කියයි. ඔහු දෙකෙහි ජවනකාව නමින් විස්තර කරන්නේ දෙදෙනා එක්ව ගොඩනගන ඈඳුතු දෘෂ්ටිකෝණයයි. බදියුගේ එළියෙන් මා එය ඈඳුතු දෘෂ්ටිකෝණයක් ලෙස පවසන්නේ ලෝකය දෙස තමාගේ සහ අනෙකාගේ යන දෘෂ්ටිකෝණ දෙකෙන්ම ලෝකය එකවර බැලීම ආදර ජවනිකාවේදී සිදු වන නිසයි. ඒ අනුව පෙම්වතුන්ගේ නෙත්-සිත් අනෙකාගේ දුක වෙතද සැපය වෙතද නාභිගත වෙයි. ඔහු/ඇය තම පෙම්වතා?පෙම්වතිය සමග එක්ව සිනාසෙයි.එක්ව හඬයි. ආදරය පිළිබඳ මේ දෙකෙහි ජවනිකාව ඉතා වැදගත් එළඹුමකි. ශාක් ලැකාන් ප්‍රකාශ කළ ප්‍රේමය තුළ අනෙකා උත්සාහ කරන්නේ “අනෙකාගේ පැවැත්ම” වෙත ප්‍රවේශ වීමටය යන අදහස සමගද මෙය නෑකම් කියයි. එබැවින් අපට පෙනෙන්නේ ආලඅරුමැසිත්වයට නැංවූ විරහ ගීයක වුව ආදර රහස් දාර්ශනිකව සැඟවී ඇති බවයි. 

බදියුට අනුව මෙය “අනෙකා” වෙනුවෙන් “මම” අමතක කිරීමේ ව්‍යාපෘතියක් නොවේ. මා සිතන්නේ එය අනෙකාගේ ජීවිත සුබ සිද්ධිය උදෙසා තමන් සමුගෙන වෙනත් අයෙකුට සිය ආදරවන්තයා පරිත්‍යාග කරන ආකාරයේ පරිත්‍යාශීලි තවුස්දමක්ද නොවන බවයි. අඩුතරමින් ආයුකාලයට සාපේක්ෂව ආලය සදාකාලිකය. බදියු මෙසේ කියයි. “ප්‍රේමය යනු නොනැසී පවත්වා ගැනීමේ මුරණ්ඩු ආශාවද වනවා. නමුත් එය ඊටත් වඩා නොදන්නා කාලාන්තරයක් සඳහා වන ආශාවයි.” 

කෙසේවෙතත් දෙදෙනෙක් අතර ඇති වන ආදරය “වෙනසකට” මුල පුරන අතරම එසේ පෙමින් හමුවන දෙදෙනා බොහෝවිට වෙනස්කම් සහිත අය බවද අපේ ප්‍රේම කතන්දර ඉතිහාසයෙන් පෙනේ. ප්‍රසිද්ධ පෙම් පුරාකතා බොහෝ ඒවායෙහි පෙමින් බැඳෙන්නේ වෙනස් පන්තිවල, වෙනස් කුලවල, වෙනස් සමාජ තත්වයන් සහිත අය බව පෙනේ. මෙසේ වෙනසක් සහිත පෙමින් බැඳෙන විට බාධා වැඩිය. ආදරයට මෙසේ බාධා ඇති කරන සමාජ සම්මතයන්, සාමාජ සමබ්න්ධතා ධූරාවලිය දෘෂ්ටිවාදීමය ලෙස ආරක්ෂා කරන්නේ පවුල, ආගම, අධ්‍යාපනය සහ විවිධ කුල-ගොත් සංස්කෘතිකමය තහංචි හා ව්‍යවස්ථාපිත නීති(සමලිංගික තහනම) විසිනි. පවුල ඇතුලු මේ රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ “ආදරය අහිමි කිරීමේ” ව්‍යාපෘතියක නිරන්තරයෙන් නිරත වන්නේ ආදරය මගින් කිසියම් සමාජ ක්‍රමයක් ඒ අයුරින්ම යළි නිපදවීමට බාධා පමුණුවන නිසාය. මේ නිසා සෑම විටෙකම කිසියම් සංස්කෘතියක හෙජමොනිය අතට ගත් අය (කිසියම් සමාජ ක්‍රමයක් හැසිරවීමේ නායකත්වය උසුලන අය) ක්‍රියා කරන්නේ ආදරය කිරීම වැළැක්වීමටය. වෙනස්කම් ඇති වීම පවතින ක්‍රමයට වෙහෙසකි. නමුත් ආදරය උපදින්නේම දෙමුහුං-දෘෂ්ටිකෝෂණයකිනි. එනම් වෙනසේ දෘෂ්ටිකෝණයෙනි. (තමා තනිව සිතන අයුරින් නොවේ) මේ අර්ථයෙන් ආදරය කිරීම යනු සෘජු දේශපාලනික අරගලකි. ඇලේන් බදියු අවදානම් දැරීම මගහැරීමෙන් ආදරයද වියැකෙන බව ප්‍රකාශ කරන විට මට මේ ටිකත් සිතේ. 

හෙජමොනිය දරන අය සමාජයේ වෙසෙන අයගේ දෘෂ්ටිවාද හසුරුවන නිසා සැබෑ ආදරයට වුව බාධා එන විට ආදර සබඳතාව බිඳී යාමට ඇති ඉඩ වැඩිය. සබඳතාව බිඳුනද ආදරය ලියලයි. ආදරය ලියලන විට විප්‍රලම්බය මෝරයි. සපූ ගී ලියන්නේ එවන් විරහවක රොමැන්තික ඉසව්වක සිට බව පෙනේ. 

සඳේ සුවඳයි සුව ගෙනාවේ
සැඳෑ මඳ අඳුරේ 
හදේ පැතුමයි හුදෙකලාවේ 
සදා රජ වූයේ 
අරාජික මා 
මනෝ මන්දීරේ 

අහිමි ආදරය වුව රොමැන්තික ලෙස දකින්නට සපුතන්ත්‍රී දක්වන නැමියාව ඔහු සිය ගීතවල බස හසුරුවන ආකාරය මගින් පෙනේ. බලන්න;

රතු රෝස මල් යායේ
මුදු සීත පිණි වෑහේ 
ඔබ හා මෙමා 
ගෙවු ඒ යුගේ සිහිවී 
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ 

රතු රෝස මල් යායක මුදු සීත පිණි වෑහීම සොබාදහමේ මනරම් දසුනකි. සපුතන්ත්‍රීගේ උපමාව නිසා අහිමි වූ ආදරයේ රොමැන්තික ලස්සනක් තැවරේ. 

දැන් අපි මේ රචනයේ අවසානය කරා ළඟා වෙමින් සිටිමු. ඒ සඳහා ප්‍රේමය පිළිබඳ එකිනෙකට පරස්පර අර්ථකථන තුනක් කෙටියෙන් විමසමු. 

01. ප්‍රේමයේ පරම සතුට වෙතම හැරුණු රොමැන්තික අර්ථ නිරූපණය. “ඉතා සැහැල්ලුවෙන් ප්‍රේමයේ පරමානන්දය විඳීම” යන්න මේ අර්ථ නිරූපණය කෙටියෙන් විස්තර කළ හැකි ආකාරයකි. 

02. ප්‍රේමය අවසානයේ ගිවිසුමක් බවට තර්ක කරන වාණිජමය හෝ නෛතිකමය බැඳීමක් ලෙස කරන අර්ථ දැක්වීම. මෙකල වැඩි වශයෙන් දකින්නට ලැබෙන ස්ත්‍රී-පුරුෂ පෙම් සබඳතා මේ සීමාවේ තිබෙන බව පෙනේ. 

03. ප්‍රේමය මායාවක් බව සිතන සංශයවාදී අර්ථකථනය. අද බොහෝ අය මේ මතයේද සිටියි. ආදරය යනු බොරුවක් බවත් කෙනෙක් ආදරයෙන් දුක් විඳින්නේ නම් ඒ තමාගෙන්ම වරදින් බවත් තර්ක කරන මේ අය නිසා ඉතා තාවකාලික පෙම් සබඳතා සහ උපයෝගීතාවාදී සබඳතා නිර්මාණය වෙයි. 

දැන් බදියු කියන්නේ මේ කිසිදු අර්ථකථනයකට ආදරය නිවැරදිව තේරුම්ගත නොහැකි බවයි. එමෙන්ම දෙදෙනෙකු සැබෑ ලෙස පෙම් කරන්නේ නම් ප්‍රේමය “හැමදාම” පැවතිය යුතු බව ඔහු සිතයි. පරිභෝජනවාදී සමාජයක එවැනි ප්‍රේම ප්‍රාර්ථනා ඇතැයි සිතීම විකාරරූපී අදහසක් වුවත් සපූගේ ගීයට, නොසිඳි පෙමක දිස්ටියක් ආරූඪ වී ඇති සැටියෙන් මම මත් වෙමි. 

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන් 
බලා අවසර සොයා කල් දැන 
වෙලා හස රැහැනින් 
පෙළයි මා, මුදා සුව දැහැණින්. 

සයුර ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ මා සිත තලා පලා ගිය ඇගේ මතකය, මා හද ගිම් අඳුරේ ගිලී දැවෙන බව මේ ගීයේ කියවෙයි. එහෙත් සපූගේ ගීතාවලියේ කිසිදු තැනක සිය පෙම්වතිය/පෙම්වතා වෙත වෛරයෙන් බලන සේයාවක් දිස් නොවේ. සම්ප්‍රදායන්, සම්මතයන් සහිත තමා නොවන මහා අනෙකා වන සංස්කෘතික බැම්මෙන් මිදී උත්තර සංස්කෘතික ප්‍රේමයක සංවේදනා අවුළුවන පෙම්වතුනට ලෝකයාගේ බාධාකිරීම් හමුවේ සිටින්නට වන්නේ සපූ කියූ ලෙසින්මදැයි මට සිතේ.

මං මුලාවී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින් 
තවත් පෙම්වතියන් 
පෙම්වතුන් 
එනතුරා මේ මාවතේ 
ගමන් මග විමසා අපෙන් 

මගේ කැමතිම සිංහල පෙම් ගී අතර ඇති මේ යුග ගීය ඉතා අපූරු තැනක ආදරය පිහිටවන බව පෙනේ. ජීවිතය මං මුලා කර ගැනීම ඉතා සුන්දර වරත්තුකාර වැඩකි. ජීවිතේට මෙතෙක් පාරවල් සාදා දී ඇත්තේ සංසකෘතිය විසිනි. පාරවල් යනු අප යා යුතු මගයි. “යා යුතු මං” සංස්කෘතිය විසින් අපට තනා දී ඇති ඒවා මිස අප විසින් සකස් කරගත් ඒවා නොවේ. ඒ පාරවල් ජනවාර්ගික, කුල-ගොත්, ප්‍රාදේශීයවාද, සමලිංගික-විරුද්ධ ලිංගික ආදී නොයෙක් බෙදීම් ප්‍රතිනිෂ්පාදනය කිරීම අරමුණු කරගත් ඒවාය. සැබෑ ආදරය උපදින්නේ ඒ සියල්ලට වෙනස් වෙනසක දෘෂ්ටිකෝණයෙනි. ඒ නිසා මෙතෙක් තනා දී ඇති පාරවල්වල ඇවිද ආදරය සිඳගන්නවාට වඩා මංමුලා වීම අර්ථවත්ය. බදියු මෙසේ කියයි. “සැබෑ ප්‍රේමය යනු කාලය, අවකාශය සහ ලෝකය විසින් ගොඩනංවනු ලබන බාධකයන් හමුවේ සමහරවිට වේදනාකාරී වුව කල්පවත්නා ලෙස විජයග්‍රාහී වීමයි”. ඒ නිසා සපුතන්ත්‍රීය ප්‍රේම ලෝකයේ මං මුලා වන්නට මම කැමැත්තෙන් පසුවෙමි.

මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින් 
හෙටත් අද වාගේ 
බලා හිඳිමු 
සිත් සතන් නැති ලෝකයා 
පෙම් සුවේ දකිනා තුරා 

සකල ලෝකවාසී ජනයා එක්වී ප්‍රේමයේ උත්තර සංස්කෘතික බව ඒකමතිකව පිළිගත් දිනෙක, පෙමට බාධා නැති ආදරයේ කොමියුනය බිහි වෙනු ඇත. සංසාරයක් කියා දෙයක් නොඅදහන මට එවැනි දිනක පෙම්වතෙකු වීමට අවසර නැති නිසා සසර වසන පෙම්වතුන් වෙනුවෙන් පෙමට සදා රස සාදා දෙන බාධක මැද සපූ හා අද හදවතින් මම සිනාසෙමි.

සුදර්ශන සමරවීර

ආශ්‍රිත ග්‍රන්ථ

බදියු, ඇලේන්. ප්‍රේමය පසසනු වස් (පරි:කෞශල්‍ය කුමාරසිංහ සහ විදුර මුණසිංහ), සංහිඳ. 2013

සලෙකල්, රෙනාටා. ආදරයේ සහ වෛරයේ ස්වරූප(පරි:නිශාන්ත කුලරත්න), සංහිඳ.2011



‘‘තීර්ථය - කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවලෝකන‘‘ ගී රස වින්දන වැඩසටහනේ අවසන් ගීතය ‘‘මිනිසා සුවඳයි මල සේ‘‘
ගැයුමට එක් වූ සුනිල් එදිරිසිංහ, දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී සමඟ
ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රී සහ වැඩසටහනේ සම්ප්‍රවේශක ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් 

Thursday, December 8, 2016

පරම්පරා ගණනාවක් හඬවන්න " උන්මාද පෙම්වන්ති මා" සූදානම්.

තීර්ථයේ අපි තරමක නිහැඬියාවකින් පසු තවත් ආකාරකින් ඔබ හමුවට පැමිණීමට සූදානම් වී සිටිමු. මෙවර නැවුම් ගීතයක් ඔබ වෙත තිළිණ කිරීමටයි අප උත්සාහය. මංජුල වෙඩිවර්ධනගේ පන්හිඳෙන් කරදහි මතට පත්වූ වේදනාව, ඒ ලෙසම විඳි නාලක අංජන කුමාර සංගීත උපකරණ හඬවා බිහි කල ගී තනුව, මීනා ප්‍රසාදිනීගේ දුක්ඛ ගායනාවක්ව පරම්පරා ගණනාවක් අප හැඬවීමට සූදානම් ය.