Tuesday, August 30, 2016

අද රැයෙහි ඈ හමු නොවෙයි...




ප්‍රේමය බිඳ වැටීම නිසා කෙනෙකු තාවකාලිකව හෝ උමතු නොවේ නම් ඒ අවසන් වූයේ ප්‍රේමයක් විය නොහැකිය. ප්‍රේම කතාවක් අවසන් වූ පසුව, ඇති වෙන විඳවීම ගිම් කල සූර්ය තාපයේ දැවීම හා සමකල කල්හී සඳ එළියකි. ලාදුරු, අඳුන් ගැල්වූ තරම් සනීප වේදනාවකි. ප්‍රේමයෙන් උමතු වූවෝ සියදිවි නසාගන්නේ ඒ නිසාය. මනෝ විශ්ලේෂණයේ පැනෙන 'මරණ ආශය' එය අත්පත් කර ගැනීමෙන් අවසන් වන්නේ එනිසාය. එවිට නිස්සාර භාවය නිස්සාරත්වයට පත් වේ. කෙනෙකුට නිබ්බිද ඥානය පහළ වීමට ද එය ප්‍රමාණවත් ය. ප්‍රඥාව අහිමි අපි ප්‍රේම ප්‍රහර්ෂය අහිමි වීම නිසා කණගාටුවට පත් වෙමු, වේදනාවට පත් වෙමු.

අද රැයෙහි ඈ හමු නොවෙයි
මම ඇය අත්හළෙමි
එනිසා මම ෆුගු වළඳමි.

-‍යුසා බුසොන්-

ඉහත හයිකුව, ජපානයේ ප්‍රේමය බිඳවැටීම ගැන ලියවුන හොඳම කවියක් ලෙස සැලකේ. ෆුගු හෙවත් පේත්ත සෂිමි නිසිලෙස සකස් නොකළ හොත් එහි විෂ මාරාන්තික විය හැකිය. ‍යුසා බුසොන් මෙහි ලියන්නේ පේත්ත සෂිමි වැළඳීම නිසා මරණය අත් වීමට හැකිය යන අනුමානය පමණක් නොවේ, ඔහු සිය කැමැත්තෙන් ෆුගු වළඳන්නේ මරණ ආශය, මරණය තමන් ප්‍රිය කරන මාර්ගයකින් අත්පත් කරගැනීම වේදනාවට පත් හදවතක උරුමය බව පෙන්නුම් කරමිනි.

ගීත ගෝවින්ද, මේඝ දූත ආදී මහා කාව්‍ය බිහිවන්නේ ද, රාමායන, ජානකීහරණ මධුර වන්නේ ද, ප්‍රේමය බිඳවැටීම නිසා ඇතිවෙන හිත් වේදනාවන්ට කරුණාවේ, වීරත්වයේ හා කාව්‍යකරණයේ පලිප්පු ලෑම නිසාය. ඒවා කොතරම් සාර්ථක ද කිවහොත් පසුකල විප්‍රලම්භයේ උපමා  බවට පත් වීමට ඒ එක් එක් කාව්‍යයක් සමත් විය. හයිකුවක සිට මහා කාව්‍යයක් දක්වා හැම තැනකම යුවජන හෘදය විදාරණය කරමින් පවතින වියෝ වේදනාව තවත් ආකාරයකින් ප්‍රකාශ කළ හැකි වන්නේ වියෝවට දහසක් අරුත් ඇති නිසාය.

සුනිල් දයානන්ද කෝණාර, ලංකාවේ සිටින මධුර පද රචනා හා සංගීත රචනා මවන කාව්‍යක්කාරයෙකි. දිනක් ඔහු හා කොටදෙණියාවේ මාඔය අසල තැනෙක හිඳ හිරිගඩු පිපෙන සංවාදයක නිරත වීමට හැකි විය. ඔහුගේ අතැඟිලි හාමෝනියම් යතුරු අතර දිවෙමින් දහස් වරක් අසා ඇති ගීයක ප්‍රවේශ වාදනය විලම්බ ලයකින් වාදනය කරයි. 'මේවා තමයි මෙලඩි.' ඔහු කියයි.  

මේ මධුර තනුව ගැන තවත් සහතික කුමටද. ඔහු එකවරම නවතියි. 'මෙහෙම වචන.. මේවා කොහොම ලිව්වද මන්දා?' ඔහු ඇස් පියා ගනි..

එපා හිරු පායන්න -අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස - ඇගෙන් මා.. මගෙන් ඈ සමුගන්න..


මාඔය අසබඩ හීතල පමණක් නොව එතන නොවූ වික්ටර් රත්නායකගේ කටහඬ හා ධ්වනි මාත්‍රව පෑහුණු ගැයුම නිසා මුලු දිනයම අලු පැහැයකින් වසා ලූවා වැනි විය. ඉර එළිය නැවතී ඇත. අහසේ ඇත්තේ අලු පැහැ මන්දාරමකි, මාඔයේ දිය අඳුරු බොර පැහැයකි. උණ පඳුරු අස්සේ හේඩාව තවත් දැඩිවේ, හුදෙකලා මසෙක් ගංදිය මට සුළියක් නංවා පත්ලට යන්නේ සාංකාවකින් හිත පුරවමිනි.

සැඳෑ තරු නොදිලෙන්න - සරා සඳ  නොනගින්න
වෙලී යුගඳුර සතර - අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ මිදී - මිදී නැවතී ඉන්න

'මහ පුදුම ආවේගයක් නේ මේ', සර්පිනාවේ යතුරු පුවරුවේ ස්ථායි ස්වර සංයෝජනයක් මත ඇඟිලි පිහිටුවන ඔහු මෙසේ කීවේය. 'මේ වගේ ආත්මාර්ථකාමියෙක්, ඉර පායන්න එපා කියල නිකන් ඉන්නේ නෑ, මුලු ලෝකෙම කළුවර වෙලා යන්න යන්න කියල නෙ කියන්නෙ. හතර දිසා අනුදිසා කලුවර වුනාම.. මෙහෙම ආත්මාර්ථකාමි කමක්..'

ඔහු නැවතත් ගයයි..

ලියමඬුලු තුරු සිරස - එපා මල් පළඳින්න
වසන්තය නිමා විය - කොවුලනේ ගොලුවන්න
සොබාදම් නෑසියනි සැලී - සැලී කම්පා වන්න
 
ඔහු නැවත නැවතත් එක් එක් කොටස් ගයමින් ගීතයේ සමස්ත ආවේගය හා වේදනාව අප හා බෙදා ගත්තේය. පදරචනයේ හා සංගීත රචනයේ කෙළ පැමිණි සංගීතකරුවෙකු වශී කළ ගීයකට ඔහුගේ මුවින්ම සවන් දෙමින් මාඔය ඉවුරේ ගල්ගැසුණු මොහොත ජීවිතාන්තය දක්වා ස්මරණය කළ හැකි අත්දැකීමකි. ගී පද රචනාව, එහි තනුව ගැන අපි පැයක් පමණ කතා කළෙමු. රසවින්දෙමු. ඒ අතරේ නැවත නැවත ස්ථායි ස්වර සංයෝජනය මත පිහිටා, ලෝක විනාසය ප්‍රාර්ථනා කරන තරුණයාගේ හර්ද තාපය ගැන සංවේදී වීමු.


'කවුද සින්දුව ලිව්වේ?' එතන සිටි බාල වයසේ එකෙක් ඇසුවේය.

කුමාරදාස සපුතන්ත්‍රී..

මට කුමාරදාස සපුතන්ත්‍රී මුලින්ම හමුවුණේ 1990 ඔක්තෝබර් මාසයේ බව සැක නැති කරුණකි. 'සිංග්ලංකා දශකය' ප්‍රදර්ශනයට පටිගත කිරීමේ ඉතිහාසය ගැන තොරතුරු සම්පාදනය කළ කොලු රැළෙන් එකෙකු වූ මට ඉතා පිළිවෙලට ඇඳ පැළඳ සිටි කුමාරදාස සපුතන්ත්‍රී දැකීම ඉතා වැදගත් අත්දැකීමක් විය. ඔහුගේ අනෙක් ගීත නිසා ලද වින්දනය හා සුනිල් එදිරිසිංහට ඔහු ලියූ 'හදේ කොතනක හෝ' ගීය නිසා ඔහු අප අතර ජනප්‍රිය ගී පද රචකයෙක් විය.

ඔහු ගේ ගී රචනා, නිම්න සංරචකයේ ගීත හෙවත් සිත සනසවන ගීත බවට මම සිතමි. එපා හිරු පායන්න ගීයේ පද සංඝඨනාව හෙවත් එහි වෛරම විසින් ඉස්මතු කරන්නේ එම නිම්න ගුණය බව මට හැඟේ. වියෝ දුකින් පීඩිත හිතකට අඳුර විසින් ගෙන එන සැනසීමයුගඳුර විසින් තවත් තීව්‍ර කර ලබා දෙනු නිසැකය. ඉර සඳ හා තරු  තමා ප්‍රේමාතුරව සිටි සමයේ දුටු ඉර හඳ තරු බවම සිතීමෙන් ම ඇති වෙන මනස්තාපය තරු නොනැග, සඳ නොනැග ඇතිවන යුග-අන්ධකාරයේ කාල අවකාශ රහිත ශූන්‍යතාවය විසින් ගිල දමනු ඇති බව සැනසීමකි. වසන්තය නිමා වී, කොවුල් නද නිහඬ වී, යථා-පුෂ්පිත තුරුහිස් නිරුවත් වී ඇතිවෙන සරතැස සතුටකැයි දැනෙන මොහොතක් 'එපා හිරු පායන්න' ඇසිය යුතුය. එවිට හිත නිම්න වේ, පාළු වේ, පීඩාවෙන් තොරවේ.

කුමාරදාස සපුතන්ත්‍රී, වියෝවෙන් ආතුර යුවජනයාගේ පිහිටට එන්නේ පීඩාවේ අන්තයේ පිහිටුවා ඇති සිය පදමාලාව සමගිනි.

ඇය රැයෙහි ඈ හමු නොවෙයි
මම ඇය අත්හළෙමි
එනිසා මම 'එපා හිරු පායන්න' අසමි.



හෂිත අබේවර්දන
2016-මැයි

( මෙම ලිපිය ‘‘සපු මල සුවඳම ය“ කෘතියට ඇතුළත් විය.)




‘එපා හිරු පායන්න‘ මුල් ගැයුම ආචාර්ය වික්ටර් රත්නායකයන්ේ ය. ‘තීර්ථය - කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවෝකේ‘ දී ගැයුම නව පරපුේ දුමාල් වර්ණකුලසූරිය විසිනි.


 


No comments:

Post a Comment