Tuesday, August 30, 2016

අද රැයෙහි ඈ හමු නොවෙයි...




ප්‍රේමය බිඳ වැටීම නිසා කෙනෙකු තාවකාලිකව හෝ උමතු නොවේ නම් ඒ අවසන් වූයේ ප්‍රේමයක් විය නොහැකිය. ප්‍රේම කතාවක් අවසන් වූ පසුව, ඇති වෙන විඳවීම ගිම් කල සූර්ය තාපයේ දැවීම හා සමකල කල්හී සඳ එළියකි. ලාදුරු, අඳුන් ගැල්වූ තරම් සනීප වේදනාවකි. ප්‍රේමයෙන් උමතු වූවෝ සියදිවි නසාගන්නේ ඒ නිසාය. මනෝ විශ්ලේෂණයේ පැනෙන 'මරණ ආශය' එය අත්පත් කර ගැනීමෙන් අවසන් වන්නේ එනිසාය. එවිට නිස්සාර භාවය නිස්සාරත්වයට පත් වේ. කෙනෙකුට නිබ්බිද ඥානය පහළ වීමට ද එය ප්‍රමාණවත් ය. ප්‍රඥාව අහිමි අපි ප්‍රේම ප්‍රහර්ෂය අහිමි වීම නිසා කණගාටුවට පත් වෙමු, වේදනාවට පත් වෙමු.

අද රැයෙහි ඈ හමු නොවෙයි
මම ඇය අත්හළෙමි
එනිසා මම ෆුගු වළඳමි.

-‍යුසා බුසොන්-

ඉහත හයිකුව, ජපානයේ ප්‍රේමය බිඳවැටීම ගැන ලියවුන හොඳම කවියක් ලෙස සැලකේ. ෆුගු හෙවත් පේත්ත සෂිමි නිසිලෙස සකස් නොකළ හොත් එහි විෂ මාරාන්තික විය හැකිය. ‍යුසා බුසොන් මෙහි ලියන්නේ පේත්ත සෂිමි වැළඳීම නිසා මරණය අත් වීමට හැකිය යන අනුමානය පමණක් නොවේ, ඔහු සිය කැමැත්තෙන් ෆුගු වළඳන්නේ මරණ ආශය, මරණය තමන් ප්‍රිය කරන මාර්ගයකින් අත්පත් කරගැනීම වේදනාවට පත් හදවතක උරුමය බව පෙන්නුම් කරමිනි.

ගීත ගෝවින්ද, මේඝ දූත ආදී මහා කාව්‍ය බිහිවන්නේ ද, රාමායන, ජානකීහරණ මධුර වන්නේ ද, ප්‍රේමය බිඳවැටීම නිසා ඇතිවෙන හිත් වේදනාවන්ට කරුණාවේ, වීරත්වයේ හා කාව්‍යකරණයේ පලිප්පු ලෑම නිසාය. ඒවා කොතරම් සාර්ථක ද කිවහොත් පසුකල විප්‍රලම්භයේ උපමා  බවට පත් වීමට ඒ එක් එක් කාව්‍යයක් සමත් විය. හයිකුවක සිට මහා කාව්‍යයක් දක්වා හැම තැනකම යුවජන හෘදය විදාරණය කරමින් පවතින වියෝ වේදනාව තවත් ආකාරයකින් ප්‍රකාශ කළ හැකි වන්නේ වියෝවට දහසක් අරුත් ඇති නිසාය.

සුනිල් දයානන්ද කෝණාර, ලංකාවේ සිටින මධුර පද රචනා හා සංගීත රචනා මවන කාව්‍යක්කාරයෙකි. දිනක් ඔහු හා කොටදෙණියාවේ මාඔය අසල තැනෙක හිඳ හිරිගඩු පිපෙන සංවාදයක නිරත වීමට හැකි විය. ඔහුගේ අතැඟිලි හාමෝනියම් යතුරු අතර දිවෙමින් දහස් වරක් අසා ඇති ගීයක ප්‍රවේශ වාදනය විලම්බ ලයකින් වාදනය කරයි. 'මේවා තමයි මෙලඩි.' ඔහු කියයි.  

මේ මධුර තනුව ගැන තවත් සහතික කුමටද. ඔහු එකවරම නවතියි. 'මෙහෙම වචන.. මේවා කොහොම ලිව්වද මන්දා?' ඔහු ඇස් පියා ගනි..

එපා හිරු පායන්න -අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස - ඇගෙන් මා.. මගෙන් ඈ සමුගන්න..


මාඔය අසබඩ හීතල පමණක් නොව එතන නොවූ වික්ටර් රත්නායකගේ කටහඬ හා ධ්වනි මාත්‍රව පෑහුණු ගැයුම නිසා මුලු දිනයම අලු පැහැයකින් වසා ලූවා වැනි විය. ඉර එළිය නැවතී ඇත. අහසේ ඇත්තේ අලු පැහැ මන්දාරමකි, මාඔයේ දිය අඳුරු බොර පැහැයකි. උණ පඳුරු අස්සේ හේඩාව තවත් දැඩිවේ, හුදෙකලා මසෙක් ගංදිය මට සුළියක් නංවා පත්ලට යන්නේ සාංකාවකින් හිත පුරවමිනි.

සැඳෑ තරු නොදිලෙන්න - සරා සඳ  නොනගින්න
වෙලී යුගඳුර සතර - අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ මිදී - මිදී නැවතී ඉන්න

'මහ පුදුම ආවේගයක් නේ මේ', සර්පිනාවේ යතුරු පුවරුවේ ස්ථායි ස්වර සංයෝජනයක් මත ඇඟිලි පිහිටුවන ඔහු මෙසේ කීවේය. 'මේ වගේ ආත්මාර්ථකාමියෙක්, ඉර පායන්න එපා කියල නිකන් ඉන්නේ නෑ, මුලු ලෝකෙම කළුවර වෙලා යන්න යන්න කියල නෙ කියන්නෙ. හතර දිසා අනුදිසා කලුවර වුනාම.. මෙහෙම ආත්මාර්ථකාමි කමක්..'

ඔහු නැවතත් ගයයි..

ලියමඬුලු තුරු සිරස - එපා මල් පළඳින්න
වසන්තය නිමා විය - කොවුලනේ ගොලුවන්න
සොබාදම් නෑසියනි සැලී - සැලී කම්පා වන්න
 
ඔහු නැවත නැවතත් එක් එක් කොටස් ගයමින් ගීතයේ සමස්ත ආවේගය හා වේදනාව අප හා බෙදා ගත්තේය. පදරචනයේ හා සංගීත රචනයේ කෙළ පැමිණි සංගීතකරුවෙකු වශී කළ ගීයකට ඔහුගේ මුවින්ම සවන් දෙමින් මාඔය ඉවුරේ ගල්ගැසුණු මොහොත ජීවිතාන්තය දක්වා ස්මරණය කළ හැකි අත්දැකීමකි. ගී පද රචනාව, එහි තනුව ගැන අපි පැයක් පමණ කතා කළෙමු. රසවින්දෙමු. ඒ අතරේ නැවත නැවත ස්ථායි ස්වර සංයෝජනය මත පිහිටා, ලෝක විනාසය ප්‍රාර්ථනා කරන තරුණයාගේ හර්ද තාපය ගැන සංවේදී වීමු.


'කවුද සින්දුව ලිව්වේ?' එතන සිටි බාල වයසේ එකෙක් ඇසුවේය.

කුමාරදාස සපුතන්ත්‍රී..

මට කුමාරදාස සපුතන්ත්‍රී මුලින්ම හමුවුණේ 1990 ඔක්තෝබර් මාසයේ බව සැක නැති කරුණකි. 'සිංග්ලංකා දශකය' ප්‍රදර්ශනයට පටිගත කිරීමේ ඉතිහාසය ගැන තොරතුරු සම්පාදනය කළ කොලු රැළෙන් එකෙකු වූ මට ඉතා පිළිවෙලට ඇඳ පැළඳ සිටි කුමාරදාස සපුතන්ත්‍රී දැකීම ඉතා වැදගත් අත්දැකීමක් විය. ඔහුගේ අනෙක් ගීත නිසා ලද වින්දනය හා සුනිල් එදිරිසිංහට ඔහු ලියූ 'හදේ කොතනක හෝ' ගීය නිසා ඔහු අප අතර ජනප්‍රිය ගී පද රචකයෙක් විය.

ඔහු ගේ ගී රචනා, නිම්න සංරචකයේ ගීත හෙවත් සිත සනසවන ගීත බවට මම සිතමි. එපා හිරු පායන්න ගීයේ පද සංඝඨනාව හෙවත් එහි වෛරම විසින් ඉස්මතු කරන්නේ එම නිම්න ගුණය බව මට හැඟේ. වියෝ දුකින් පීඩිත හිතකට අඳුර විසින් ගෙන එන සැනසීමයුගඳුර විසින් තවත් තීව්‍ර කර ලබා දෙනු නිසැකය. ඉර සඳ හා තරු  තමා ප්‍රේමාතුරව සිටි සමයේ දුටු ඉර හඳ තරු බවම සිතීමෙන් ම ඇති වෙන මනස්තාපය තරු නොනැග, සඳ නොනැග ඇතිවන යුග-අන්ධකාරයේ කාල අවකාශ රහිත ශූන්‍යතාවය විසින් ගිල දමනු ඇති බව සැනසීමකි. වසන්තය නිමා වී, කොවුල් නද නිහඬ වී, යථා-පුෂ්පිත තුරුහිස් නිරුවත් වී ඇතිවෙන සරතැස සතුටකැයි දැනෙන මොහොතක් 'එපා හිරු පායන්න' ඇසිය යුතුය. එවිට හිත නිම්න වේ, පාළු වේ, පීඩාවෙන් තොරවේ.

කුමාරදාස සපුතන්ත්‍රී, වියෝවෙන් ආතුර යුවජනයාගේ පිහිටට එන්නේ පීඩාවේ අන්තයේ පිහිටුවා ඇති සිය පදමාලාව සමගිනි.

ඇය රැයෙහි ඈ හමු නොවෙයි
මම ඇය අත්හළෙමි
එනිසා මම 'එපා හිරු පායන්න' අසමි.



හෂිත අබේවර්දන
2016-මැයි

( මෙම ලිපිය ‘‘සපු මල සුවඳම ය“ කෘතියට ඇතුළත් විය.)




‘එපා හිරු පායන්න‘ මුල් ගැයුම ආචාර්ය වික්ටර් රත්නායකයන්ේ ය. ‘තීර්ථය - කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවෝකේ‘ දී ගැයුම නව පරපුේ දුමාල් වර්ණකුලසූරිය විසිනි.


 


Friday, August 12, 2016

දහසක් මල් පිපේවා..!!!




 තීර්ථය භාවමය රළ නඟන ගී ඉවුරේ අපි සැදී පැහැදී සිටින්නෙමු. ගී රස වින්දනයේ නව්‍ය ඉසව් සොයා අපේ පළමු මියැසි යාත්‍රාව දියත් කරන අගෝස්තු 20 වැනි දා රාත්‍රී 7 කණිසම, ඒ සොඳුරු මොහොත එළඹෙන තුරු බලා සිටින්නෙමු. ඒ කුමාරදාස සපුතන්ත්‍රී ප්‍රවීණ ගේය කාව්‍ය රචකයාණන් සමඟ ය. 

ගීත කලාව ආක්‍රමණය කළ ඇඟ මසට දැනෙන සංගීතයෙන් ඔබ්බට ගොස් හද, මනස ආමන්ත්‍රණය කරන ගීත සාහිත්‍යය පිළිබඳව වත්මන් සමාජයේ අවධානය යොමු කරවීම ‘‘තීර්ථය‘‘ ආරම්භයේ දී අපේ ප්‍රමුඛ අරමුණක් විය.

මේ වන විටත් සුභාවිත ගීතය පිළිබඳ මාධ්‍ය තුළ ද, සයිබර් අවකාශය තුළ සුවිශේෂ අවධානයක් යොමු වෙමින් පවතී. කතා බහ වෙමින් පවතී.

පසුගිය දිනෙක අපි නෙත් එෆ් එම් ගුවන් විදුලි අවකාශය තුළ සුභාවිත ගීතය සහ සපුතන්ත්‍රී ගීතය පිළිබඳ පැය එකහමාරක අරුත්බර කතා බහකට එක් වීමු. ඒ නෙත් Unlimited තුළිනි. අද සිටි එෆ් එම් සේවයේ කුමාරදාස සපුතන්ත්‍රී ශූරීන් සමඟ ගීතය පිළිබඳ වන පැය දෙකක කතා බහකි.


අපමණ සන්තුෂ්ටියකි. අපේ එක් අරමුණක් සඵල වෙමින් පවතී. සුභාවිත ගීතය, ගීත සාහිත්‍යයේ හැඩ රුව පිළිබඳ සමාජ කතිකාවක් ඇති වීම ඉතා වැදගත් ය.


දහසක් මල් පිපේවා..!!!

Wednesday, August 3, 2016

භාවමය රළ නඟන වින්දනීය ගී ඉවුරක ‘සපූ’ සමඟ



නලීන්, ප්‍රියංක සහ දිමුතු

‘තීර්ථය’ වූයේ භාවමය රළ නඟන සංගීතමය ඉවුරක ය.  ගීතය ම ආරම්මණය කරගත් ඉංජිනේරු  මිත්‍රයෝ එහි මීවිත පුරමින් සිටිය හ. මේ කතාව ඇරඹෙන්නේ එතැනිනි.

‘‘මට දිමුතු හමුවෙන්නෙ උසස්පෙළ පන්තියෙදි, 1990.ඉන්පස්සෙ අපි මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්නෙත් එකටම. නැවතිලා ඉන්නෙත් එකම බෝඩිමක. ඒ වගේ දීර්ඝකාලීන මිත‍්‍රත්වයක් අපි අතර තියෙන්නෙ. අපි කැම්පස් යාළුවො අවුරුද්දකට තුන්වතාවක් විතර හමුවෙනවා මධුසාදයක් එක්ක.ඒ මධුසාදයකදි මතුවුණ සංවාදයක් තමයි ‘තීර්ථය’ වැඩසටහන ආරම්භ කරන්න මඟපාදන්නේ.”

එලෙස හඬ අවදි කළේ ‘තීර්ථය’ සුභාවිත ගී රස වින්දන සංකල්පයේ හිමිකරුවන්ගෙන් කෙනෙක් වන නලින් මංචනායක යි.  ප්‍රවීණ ගේය පද රචකයකුගේ ගී නිර්මාණ එහි පසුබිම් කතා, ගීතයෙහි සංගීතයෙහි සුවිශේෂතා සහ  එහි ආධ්‍යාත්මික සමාජමය වටිනාකම් විවරණය කරමින් ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවන් සමඟ ඉදිරිපත් කරන වින්දනාත්මක ගී දැහැනක් ලෙස ‘තීර්ථය’ එහි සංවිධායක කමිටුව විසින් හඳුන්වාදෙනු  ලැබේ. මේ කර්තව්‍යයට උර දී සිටින අනෙක් දෙමිතුරන් ප‍්‍රියංක සමරකෝන් සහ දිමුතු ප‍්‍රදීප් පෙරේරා ය. මේ මිතුරෝ වෘත්තියෙන් ඉංජිනේරුවෝ වෙත්.  වෘත්තීය ජීවිතයට කොටු නොවී සාහිත්‍ය කලාව ඇසුරේ ජීවිතය විඳින්නට, ජීවිතය දකින්නට උද්‍යෝගී හදවත් ඇත්තෝ වෙත්.

තීර්ථයට මුලින්ම පිවිසෙන්නා ප්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රී ය. ඔවුන් අබියස ඔවුන්ගේම ගේ ය පද රචනා ගැයෙනු ඇරඹෙන්නේ අගෝස්තු මස 20 වැනි සෙනසුරාදා හැන්දෑවේ  7ට ය.  තැන, කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාව යි. සපූ විසින් විරචිත ගීත 20ක් ගැයෙන්නට නියමිත ය.
 
සුභාවිත ගී රසාස්වාදන වැඩසටහනක් ‘තීර්ථය’ලෙසින් අර්ථ දක්වන්නට යොමුවූයේ මන්දැයි මම මුලින්ම මේ සුමිතුරන්ගෙන් විමසා සිටියෙමි.


“තීර්ථය’ කියන්නේ තොටුපළට. එතෙර වෙන්න යාත්‍රාවක් එනතුරු නැවතී සිටින ස්ථානයට. අපේ යාත්‍රාව තමයි ගීතය, සංගීතය. සුභාවිත ගීතයේ, සංගීතයේ මිහිර විඳින්නට රසවින්දනයේ නව්‍ය ඉසව් සොයා ගමන් අරඹන්නට පදනමක් සැකසීම තමයි ‘තීර්ථය’ සුභාවිත ගී රසවින්දන වැඩසටහනේ මූලික පරමාර්ථය. ‘භාවමය රළ නගන වින්දනීය ගී ඉවුර’ ඒ තීර්ථයේ තේමා පාඨය.”

සපූගේ රචනා ගයන්නෝ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදීනී වෙති. නාලක අංජන කුමාර විසින් වාදක මඩුල්ල මෙහෙයවනු ලැබෙයි. වැඩසටහනේ ගලායෑම ඇත්තේ අලුත් පරම්පරාවේ ප්‍රවීණ ගේය පද රචකයෙක් වන නිලාර් එන් කාසිම් අත ය. ඔහු ගීත ගැන ඒවා ලියූ කුමාරදාස සපුතන්ත්‍රී සමඟ සංවාදගත වෙමින් වඩා සජිවී හා ප්‍රසාංගික අද්දැකීමක් සහෘදයාට ලබා දෙනු ඇත.
 
ව්‍යාපෘති සැලසුම්, මෙහෙයුම්, ඉදිකිරීම් වැනි දෑ අතර සිර වූ ඉංජිනේරුමය ජීවිතයක සාහිත්‍ය කලා ඇසුරට ඉඩක් පාදා ගැන්ම පහසු කටයුත්තක් ද? විය නොහැකි ය. එසේ වී නමුත්, සියල්ල මුදල මත තීරණය වන සමාජ වටපිටාවක සුභාවිත ගී සරණියක පැටළෙන්නට මේ සා උනන්දුවක් මතුවන්නේ මන්දැයි ගැටලුවකි. එකී පැනය අරුමයක් නොවන බව ඔබ ද වටහා ගනු නියති.

‘‘අපි හැමෝම එක්තරා කාලයක සෞන්දර්ය විෂයක් ඉගෙනගත්තා. උසස් අධ්‍යාපනයෙදි අපි වෙනත් විෂය ක්ෂේත්‍රයන්ට යොමු වුණත් අපි තුළ ඉන්න රසිකයා මැරෙන්නෙ නැහැ. අපේ වෘත්තීය ජීවිතයේ යම් යම් සීමාවන්වලට කොටුවෙන්න සිද්ධවුණත් අප තුළ ඉන්න රසිකයා අපේ ජීවිත ඒකාකාරී වෙන්න නොදී ජීවිතය රසවත් කරනවා. ගීතය, සංගීතය විඳින්න, ඒ ගැන කතා කරන්න අපි හැමෝම එක වගේ කැමතියි. ඒ නොමියදෙන, නොවියළෙන රසිකත්වය තමයි මේ වැඩේට අපිව පොළඹවන්නේ.

අර්ථවත් පද රචනාවන්, මිහිරි ගී තනු, අපූරු හඬ පෞරුෂයන් එක්ක ගීතය හරහා ජීවිතය වින්ද පරපුරක් අපි. අපේ ජීවිතයට ගීතයෙන් බොහෝ දේ ලැබුණා. ආදරය කරන්න, ආදරයේ බිඳවැටීම් දරාගන්න, විරහව විඳින්න, සමාජය විනිවිද දකින්න, සමාජ යහපත වෙනුවෙන් වැඩ කරන්න අපිට ගීතයෙන් පන්නරයක් ලැබුණා. නමුත් අද ඒ විඳීමට ඉඩක් නැහැ.  අද තරුණ පරපුරට ඒ අවස්ථාව අහිමිවෙලා තියෙනවා. වාණිජ අරමුණු ප්‍රමුඛ වුණ මේ සමාජයේ සාහිත්‍ය කලා නිර්මාණයක අර්ථසම්පන්න බව, වින්දනාත්මක බව යටපත් වෙලා මතුවෙන්නෙ කොයිතරම් දුරට විකිණෙනවද, විකුණනවද කියන කාරණය. තවත් පැත්තකින් ඇඟ මසට දැනෙන සංගීතයට වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. හදවත, මනස තෘප්තිමත් කරන, සංවේදී කරන ගීත බිහිවෙනවා හරිම අඩුයි. අසංවේදී සමාජයක් බිහිවෙන්න සාහිත්‍ය කලාවේ මේ පිරිහීමත් බලපානව කියල අපි හිතනවා. හොඳ ගීත රස විඳින්න යම් පෙළඹවීමක් ඇති කරන්න, සමාජය තුළ ඒ ගැන කතිකාවක් ඇති කරන්න, සංගීත ක්ෂේත්‍රයේ යටපත්ව යන අපේ ප්‍රවීණ ගේය පද රචකයන්ගේ භුමිකාව යළි මතු කරන්න තීර්ථය අත්වැලක් වේවි කියල හිතනවා. මේ අදහස් තමයි සුභාවිත ගී වැඩසටහනක්  කරන්න අපිව යොමුකරන්නෙ. ”


කුමාරදාස සපුතන්ත්‍රී

‘හදේ කොතැනක හෝ හිඳී ඔබ’, ‘පාට දේදුණු සේදීලා’, ‘එපා හිරු පායන්න’, ‘නිදුකාණනේ’, ‘මලින් මලට ඉගිළුණාට’, ‘මල් මාලතී ලතා’, ‘දෑත දෙපා ළඟ ගිගිරි සරින්’, ‘මිදුලේ වැළි මාලිගාව’……. මා අතිශයින් ප්‍රිය කරන ගී රැසක් ම ලියා ඇත්තේ මේ මිනිසා නොවේදැයි සිතමින් මම ඔහු ඉදිරියේ අසුන් ගෙන සිටියෙමි. ඒ ‘තීර්ථය’ පළමු පියවර සමඟ සම්බන්ධ වන ප්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රීන් ය. 70, 80, 90 දශකයන් තුළ සුනිල් – සපූ – රෝහණ, එඩ්වඩ් – සපූ – රෝහණ ත්‍රිපුද්ගල සුසංයෝගයෙන් නිමැවුණු අපූර්ව ගී ගොන්න රස විඳි අපට සපුතන්ත්‍රී ආගන්තුක නොවේ.

ගේය පද රචකයින් අතර හෘද සංවේදී ගී රැසක් නිර්මාණය කරමින් සුවිශේෂ අනන්‍යතාවයක් පිළිබිඹු කරන ඔහු ගීත රචනා කලාවට ප්‍රවේශ වූයේ කෙලෙසදැයි දැන ගැනීමට රිසි වූයෙමි.

‘‘මම පාසල් දිවියෙදිත් නිර්මාණකරණයේ යෙදුණා. එතනින් ලැබුණු ආලෝකය තමයි බලපෑවෙ. පාසලින් ඉවත්වෙලා කොළඹට ඇවිත් ජීවිතේ බොහෝ හැලහැප්පීම්වලට මුහුණ දීලා, රැකියාවත් නැති වෙලා, ජීවිතය පරිහානියට පත්වෙලා තිබුණු අවස්ථාවක ආපහු ජීවිතය වැළඳගන්න මට උදව් කරන්නෙ ගීතය. ගී පද රචකයෙක් විදියට මම මුලින්ම ගීත ලියන්න පටන්ගත්තෙ 1971 දි විතර. ඒ කාලෙදි තමයි මං සුදර්ශියට එන්නේ. ඒ එනකොට සුදර්ශියෙ සංගීත වැඩසටහනක් සඳහා රිහසල් එකක් යනවා. එතනදි මගේ ගීත රචනා ලියන්නට තිබුණු ආශාව මතුවුණා. දයානන්ද ගුණවර්ධන මාව උනන්දු කළා.
සුදර්ශියෙදි හමුවුණු රෝහණ, එඩ්වඩ්, සුනිල්, කුලරත්න ආරියවංශ සහ මම, අපි එකතුවෙලා ගොඩක් ගීත නිර්මාණය කළා. මුල්ම ගීතය ලිව්වෙ රෝහණ වීරසිංහ වෙනුවෙන්. සුනිල් ගෙ ගී තැටියකට ගීත හතරක් ලිව්වා. ඒ තමයි සුනිල් වෙනුවෙන් ගී ලියූ පළමු අවස්ථාව. ඉන්පසුව සුනිල් ගේ හැම ගුවන්විදුලි වැඩසටහනක් වෙනුවෙන්ම ගීත ලිව්වා. ඒ මුල් යුගයේදී මට හුඟක් ආරාධනා ලැබුණෙ ප්‍රේම ගීත ලියන්න. ඒ අනුව මා අතින් වැඩිපුර ලියවුණේ ප්‍රේම ගීත. ඒ ගීත ජනප්‍රිය වෙලා ටික කාලයක් යද්දි මට ම වැටහුණා, කොටුවීම හොඳ නෑ ගීතයෙන් මීට වඩා යමක් කළ හැකි නම් හොඳයි කියල. ඉන්පසුව මම විරෝධාකල්ප ගීත, සමාජ යථාර්ථය අත්දකින විදියෙ ගීතවලට යොමුවුණා. ඒ ගීතත් ජනප්‍රිය වුණා. ජනතාව වැළඳගත්තා. ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සහය මට ලැබුණා. කේ.ඩී.කේ. ධර්මවර්ධන, මඩවල එස් රත්නායක, ඩෝල්ටන් අල්විස් වගේ ප්‍රවීණයන්ගෙන් මට සහය ලැබුණා. සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වගේ ගායන ශිල්පීන් මගේ ගීතවලට විශේෂ කැමැත්තකින් ගායනා කරන්න ඉදිරිපත් වුණා. රෝහණ වීරසිංහ ගේ  තනු නිර්මාණ ඒ ගීතවලට විශාල සාධාරණයක් ඉෂ්ට කළා. ප්‍රේම ගීත වගේම සමාජ යථාර්ථය ඇතුළත් ගීතත් නිර්මාණය කරමින් ගීත රචනා කලාවේ ඉදිරියට යන්න මට අවස්ථාව ලැබුණෙ ඒ විදියට. ”
 
අද සුභාවිත ගීතයේ පිරිහීමක් ඇතැයි දසතින් අසන්නට ලැබේ. ‘‘ඔබ වැනි ප්‍රවීණයින්ගේ නිහඬවීමත් මේ පිරිහීමට හේතුවක් වෙන්න බැරිද?” මම සපූ වෙතින් විමසා සිටියෙමි.

‘‘හොඳ ගීත කලාවක් ලංකාවෙ තිබුණා. ඒ ගීත කලාව ක්‍රමානුකූලව පිරිහීමට ලක්වුණා. විශේෂයෙන් ගීතය ජනප්‍රිය වෙළඳ භාණ්ඩයක් වීම තමයි ඒ පිරිහීමේ ආරම්භය. අපි ඒ කාලෙ කොහේ කොතැන ගියත්, මොන දේ කළත් ඒ හැම තැනකදිම අත්දැකීමක් බලාපොරොත්තුවෙන් හිටියෙ. ඒ අත්දැකීම් ඇසුරෙන් තමයි ගීත නිර්මාණය වුණේ. අද ඒ තත්වය නැහැ. එකම විදියෙ තේමාවන්, එකම වචන, එකම ආකාරයේ ප්‍රේම ගීත තමයි නිර්මාණය වෙන්නෙ. විවිධ අත්දැකීම් නැහැ. භාෂාව පොහොසත් නැහැ. හැදෑරීමකින් තොරව ඔහේ ලියන බවක් තමයි පේන්න තියෙන්නෙ.  ගී තරු බිහිකිරීමෙන් ගීත ක්ෂේත්‍රය දියුණු කරන්න බැහැ. ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරලා එක රැයින් ජනප්‍රිය වෙන ගී තරු ඉක්මණින්ම සමාජයට අමතක වෙලා යනවා. ඒ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟාගෙන, හොඳ නිර්මාණ කරමින් ක්ෂේත්‍රෙය් රැඳී  සිටින්නට උත්සාහ නොදරන නිසා.
ප්‍රවීණයින් හොඳ නිර්මාණ බිහිකරල තියෙනවා. අදටත් ඒ නිර්මාණ පවතිනවා. ඒ සුභාවිත ගී කලාව ඉදිරියට ගෙනයන්න අද පරපුරත් එවැනිම කැපවීමකින් කටයුතු කළ යුතුයි කියල මං හිතනවා.”
 
‘මිනිසා සුවඳයි මල සේ ’, ‘නිදුකාණනේ ’, ‘ළඳු ඕවිටි කළල් මතින් ’… වැනි මානව හිතවාදී ගීත රැසක් ලියූ සපුතන්ත්‍රී යුද්ධය පැවති කාලයේ රණවිරු ගීතයක් ලෙස උත්කර්ෂයට නගමින් යුද්ධයට ධෛර්යය දුන් ගීතයක් ලියුවේ කෙසේදැයි යන්න කලක් තිස්සේ මා තුළ පැන නැගුණු ගැටලුවකි. එකී ගීතය වන ‘රන් මලක්’ ලාංකේය  සමාජය තුළ භාවිතවුණු ආකාරය පිළිබඳව මා සිත පැවති විරෝධාකල්පය, සාංකාබර හැඟීම මම සපූ ඉදිරියේ දිග හැරියෙමි.

‘‘රන් මලක් ගීතය ලියවෙන්නේ අසූව දශකයේ අවසන් භාගයෙදි මට මතක හැටියට. වඩමාරච්චි සටනෙදි හමුදා සේවයේ උන්නු මගේ සමීපතම මිතුරන් දෙන්නෙක් නැති වුණා. ඒ අවමංගල්‍යයන්ට සහභාගි වෙලා, පුදුමාකාර වේදනාවකින් මං ගෙදර ආවෙ. ඒ රැයක තමයි මේ ගීතය ලියවුණේ. මගේ ඒ මිත්‍රයන් ඇතුළු හමුදා සෙබළුන්ගෙ කැපවීම, පරිත්‍යාගය අගය කරන්නයි මම මේ ගීතය ලිව්වේ. පසුකාලෙක දේශපාලන උවමනා එපාකම් මත රන් මලක් ගීතය පාවිච්චි උණා. හමුදාවට සෙබළු බඳවගන්නත්, සෙබළුන්ගේ ධෛර්යය වඩවන්නත් මේ ගීතය යොදා ගත්තා. මාධ්‍ය මඟින් මේ ගීතයට ලොකු අවධානයක් ලැබුණා. නමුත් ඇත්තටම මම මේ ගීතය ලිව්වෙ සෙබළුන්ගෙ කැපවීම අගය කරන්න මිස, යුද්ධය සාධාරණීකරණය කරන්න නෙවෙයි.”
 
‘තීර්ථය’ ගී රසවින්දන වැඩසටහනට සම්බන්ධ වන මුල් ම ගේය පද රචකයා ලෙස සපූ, ‘තීර්ථය’ දකින්නේ කෙලෙසදැයි විමසීම ද මගේ සංවාදයේ එක් අරමුණක් විය. අතීත, අනතීත වග විත්ති, සතුටු සාමිචී කතා අතරතුර මම ඒ සඳහා ද ඉඩක් පාදා ගතිමි. 

‘‘තීර්ථය වැඩසටහන ගී පද රචකයින්, රසිකයින් වගේම විචාරකයින් සම්බන්ධ කරගෙන ගීතය ගැන කතාබහ කරමින්, දැනුවත් කරමින්, රසවත් කරමින් ගීතය විඳින්නට සලස්වන වැඩසටහනක් බව මට දැනගන්නට ලැබුණා. ඒ ගැන මට ගොඩක් සන්තෝෂයි. ඒ මොකද හොඳ බුද්ධිමත් රසික පරපුරක් හදන්නට පුළුවන් මේ මාර්ගයෙන් විතරයි. අද බිහිවෙන, මාධ්‍ය මගින් ජනප්‍රිය කරවන බොහෝ ගීත එක්ක මෙවැනි රස විඳීමකට යන්න අමාරුයි. පැරණි ගීත අදටත් මිනිසුන්ගේ මතකයේ තැන්පත් වෙලා තියෙනවා. අදටත් රස විඳිනවා. ඒ ගීත හරහා අද පරපුරටත් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. ප්‍රවීණ ගී පද රචකයෙක්, ප්‍රවීණ සංගීත ශිල්පීන්, ප්‍රවීණ ගායක ගායිකාවන් වගේම නව පරපුරේ ගායක ගායිකාවන් සම්බන්ධ කරගෙන කරන තීර්ථය වැඩසටහන පිරිහීගෙන යන ගීත කලාව ගොඩනඟන්නට මහඟු අත්වැලක් වෙයි කියල මං තරයේ විශ්වාස කරනවා.”
 
‘තීර්ථය’ පිටපත ලියන්නේ ද, වැඩසටහන මෙහෙයවන්නේ ද නිලාර් එන් කාසිම් විසිනි. නිලාර් සමඟ කළ කෙටි සංලාපයක මගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ ගේය පද රචකයාගේ භූමිකාව කෙරෙහි ය.

නිලාර්‘‘පොදුවේ අපි පිළිගන්නවා ගීතය කියන්නේ සාමුහික කලාංගයක් කියල. ගීත රචකයා, ගායකයා, සංගීතඥයා සහ වාද්‍යවෘන්දය කියන මේ සියලුම අයගේ දායකත්වයන් එකතු වෙනවා. හැබැයි ගීතයට හැඩය දෙන්නේ පද රචනයෙන්.
ගේය පද රචකයාගේ ප‍්‍රධානතම මෙවලම භාෂාව. භාෂාව පදනම් කරගෙන තමයි ඔහු පද රචනය ගොඩනගන්නේ. අපි දන්නවා අපේ ජ්‍යෙෂ්ඨ ගේය පද රචකයින් භාෂාව භාවිත කළ සංයමය. නමුත් අද වෙළඳපළ ඉල්ලූම මත නිර්මාණ කරන ගීත රචකයින්ගේ භාෂා පරිචය සහ ගීත සාහිත්‍යය පිළිබඳ හැදෑරීම අඩුයි. ගීත රචනාවක් පරිපූර්ණත්වයට පත්වීමේ දී භාෂාව භාවිත කළ යුතු ආකාරය, කුමන ආකාරයේ ක‍්‍රමෝපායන්ද අනුගමනය කළ යුත්තේ කියා ගීත රචකයා දැනගත යුතුයි. ගීතය සාහිත්‍ය නිර්මාණයක් බවට පත්වීමේදී ඊට එක්වන උපමා රූපක හා සෙසු අලංකාර භාවිත කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් විය යුතුයි. විවාදයකට තුඩු දෙන මාතෘකාවකදී භාෂාව යොදා ගතයුතු ආකාරය පිළිබඳව ඔහු සංවේදී විය යුතුයි.”
 
වර්තමානයේ බොහෝ ගේය පද රචකයන් තරුණ පරපුර වසඟයට ගෙන, රිගින්ග් ටෝන් හරහා මුදල් මැවිය හැකි ගී පද බැඳීමට යොමුව ඇත්දැයි සැක සිතෙන තරම් ය. මේ ගීත රචකයින් සපයන්නේ ඉල්ලුම අනුව සැකසුණු නිර්මාණ ද?
ඒ පිළිබඳ ව නිලාර් දක්වන අදහස මෙබඳු ය.

‘‘ඉල්ලුම අනුව සැපයුම කිරීමම ද නිර්මාණකරුවාගේ කාර්යභාරය කියා සිතන්න අවශ්‍යයි. සමාජය වෙනස් කළේ කලා ශිල්පීන්, නිර්මාණ ශිල්පීන්. අපට හැකියාව තිබිය යුතුයි වෙළඳපළ තරඟය තුළදී යහපත් ප‍්‍රවණතා ජයග‍්‍රහණය කරවන්න. හැබැයි අපේ රටේ එහෙම ක‍්‍රියාකාරිත්වයක් නැහැ. මිනිසුන්ගේ රසඥතාව ගොඩනගන වැඩපිළිවෙලක් නැහැ. හරවත් දේ මාකට් කරන්නඅවශ්‍ය සමාජ සාධක නිර්මාණය කරන්න, පසුබිමේ ස්ථරයක් ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ.
සිවිල් සමාජය නිහඬව ඉන්නා තෙක් විවිධ අසාධාරණකම් අපේ ඉහටත් උඩින් යනවා. පසුගිය දශක ගණනාවක් තුළ එය සිදුවුණා. නමුත් අපි දැක්කා පසුගිය කාලයේ දේශපාලනයෙදි සිවිල් සමාජය ශක්තිමත් වූ විදිහ. මේ දේ මේ ආකාරයටම කලා ක්ෂේත‍්‍රය තුළත්, නිර්මාණ ක්‍ෂෙත‍්‍රය තුළත් සිදුවිය යුතුයි. පාඨකයා හෝ ශ‍්‍රාවකයා හුදෙක් නිශ්ක‍්‍රීය පුද්ගලයෙක් විය යුතු නැහැ.”
 
නිලාර් ‘තීර්ථය’ ගී රස වින්දන වැඩසටහනේ තීරණාත්මක ගමන් සගයෙකි. තීර්ථ යාත්‍රිකයෙකි. ‘තීර්ථය‘ සමග මේ සමීප සබැඳියාවට සුවිශේෂ හේතුවක් වේ දැයි විමසීමට සිත් විය. ඔහු සංවාදය නැවතුණු තැනින් ඉදිරියට යාමට ප්‍රවේශ දොරටුවක් ලෙස මගේ පැනය භාර ගත්තේය.

‘‘මට ඇත්තටම තියෙන්නෙ කළින් පිළිතුර නතර කළ තැන ඉඳන් පටන්ගන්න. මම ඒ යෝජනා කළ සිවිල් සමාජයීය ක‍්‍රියාකාරිත්වය මල්ඵල ගැන්වීම පිළිබඳ විශ්වාසය තමයි මෙතන දැල්වෙන්නෙ. තීර්ථය වැඩසටහනට මුල් වුණු මිතුරන් තිදෙනා මාත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. ඔවුන් දරණ මතවාදය සහ මම දරණ මතවාදය එකට පෑහුණා. ඒ තුළ අපට එකඟවෙන්න මිසක් විරුද්ධ වෙන්න කිසිම කාරණයක් තිබුණෙ නැහැ. ඔවුන් එක්ක අත්වැල් බැඳගැනීම ගැන මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
සංගීත ක්ෂේත‍්‍රයේ සිදු වී ඇති පරිහානිය කම්මුලේ අත ගසාගෙන කල්පනා කරනවා වෙනුවට, අපි මේ පරිහානිගත ගමන් මග වෙනස් කරමු. සමාජය තුළ රසිකත්වය වර්ධනය කරමු. ඒ සඳහා සුබවාදීව පෙළ ගැසෙමු කියන කාරණය තමයි මේ ‘‘තීර්ථය’’ වැඩසටහනේ යටිපෙළ සමඟ ගොඩනැගෙන්නේ. මේක හොඳ ආරම්භයක්. මමත් හුදෙක් ආගන්තුක ශිල්පියෙක් බවට පත් නොවී ඔවුන් හා කරට කර මෙම කර්තව්‍යයට සම්බන්ධ කොටස්කරුවකු වීමට සැමවිටම උත්සාහ කරන්නේ ඒ නිසයි.”
නිලාර් එසේ කීවේ ඉතා අපේක්ෂාසහගතවයි.

සංවාද සටහන – තරුරසී

http://www.radiogagana.com/2016/07/27/theerthaya-with-lyririst-ku/