Thursday, July 21, 2016

කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා...



සිරි කාලකණ්ණි


ප්‍රේමය හේතු කොටගෙන විඳින්නට සිදුවන අත්දැකීම් නානාප්‍රකාර ය. සංකීර්ණ ය. උනුනට ඇලුම් කරන යෞවන යෞවනියෝ ප්‍රේමවන්තයෝ වෙති. නමුත් සමහරවිට පෙම්වතුන් තම පෙම්වතිය හැර දමා යන්නේ ය. පෙම්වතියන්ද එසේම තම පෙම්වතා හැර දමා යන්නීය. වරෙක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මිත්‍රයකුගේ පෙම්වතියක් ඔහුව හැර දමා ගියාය. එසේ හැර දැමීමට හේතු වූයේ ඇය බෙහෙවින් බාහිර අලංකාරයට, ආටෝපයට කැමැති තැනැත්තියක වීමත්, ඇයගේ පෙම්වතා එවැන්නකු නොවීමත් ය. මෙම අත්දැකීම මූලික කොටගෙන ‘සිරි කාලකණ්ණි’ නම් ගීතය රචනා විය. ‘සුදු නෙළුම ගී පද සරණියෙහි අන්තර්ගත මේ ගීතය ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනා කරනු ලබයි.


අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයි ද සිතුණා

සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදැසනින් මැකෙනා
කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ස්වර රචනය - රෝහණ වීරසිංහ
පද රචනය :රත්න ශ්‍රී විජේසිංහ

ජාතක කතා පුවත මූලාශ්‍ර කරගන්නා ගීත රචකයා නූතන පුවතක් අප හමුවට ගෙන එයි. මෙහි සඳහන් තරුණයා උගතෙකි. 


සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
යන්නෙන් කියවෙන්නේ එයයි. එහෙත් ඔහුට උගත්කමට සරිලන රැකියාවක් නොලැබේ. ඔහු මාර්ගයේ වැඩ කරන කම්කරු රැකියාවක යෙදෙයි. ඔහු පාරේ වැඩ කරමින් සිටින අතර සිය පුරාණ ප්‍රේමවන්තිය ඔහුව පසුකරමින් යන්නේ අජානේය ඉස්කූටරයක නැගීය. ඇය තම නව ප්‍රේමවන්තයා සමඟ යන අයුරු මුලින් කී තරුණයාගේ ඇස ගැටේ. ඔහු සිය අතීත ප්‍රේමවන්තිය පිළිබඳ මෙලෙස සිතයි.

බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයි ද සිතුණා

අතීත ප්‍රේමවන්තියට අප කථකයා ආයාචනය කරන්නේ ‘ඇගේ කිරුළ රැකගන්නා ලෙස’යි. එය ව්‍යංග්‍යර්ථ දනවන්නකි. එම ඉල්ලීම තුළ ඇත්තේද ප්‍රේමය ම වේ.

සිය අතීත ප්‍රේමවන්තිය පිළිබඳ කථකයා තුළ පහළවන්නේ යහපත් සිතිවිලි ම වුව ද ඇය ඔහු වෙත හෙළන්නේ සෝපහාස බැල්මකි. 

මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා

සදය සිනාවක් මුවට නංවාගන්නා ඇය සුවඳ විලවුන් මුසු ලේන්සුපට සිඹිමින් සිය අතීත ප්‍රේමවන්තයා වෙත රිදුම් ගෙන දෙන්නට තරම් පෙළඹෙයි. සුවඳ විලවුන් මුසු ලේන්සුව සිඹගන්නේ ඩා බිඳුවල ගඳින් මිදෙන්නට ය. මේ සියල්ල අතීත ප්‍රේමවන්තයාට හොඳින් දැනෙන්නට වෙයි.

මෙම ගීතය රචනා කිරීමේ දී ජාතක පොතෙහි එන දීර්ඝතම ජාතක කතාව වූ ‘උම්මග්ග ජාතකයෙහි’ සිරි කාලකණ්ණි නම් අතුරු කථා පුවතින් මෙම ගීතය සඳහා මූලාශ්‍ර කොටගෙන කිසියම් ආලෝකයක් ලබා ඇති බව පෙනී යයි. සිරි කාලකණ්නි කතාවේ සඳහන් පරිදි එක්තරා කලෙක දිසාපාමොක් ඇදුරුතුමන්ගේ හොඳම ශිෂ්‍යයා බවට පත්වන්නේ පිංගුත්තර නම් මානවකයා වේ. ඇදුරුතුමන් ගුරුකුල සිරිත රකිමින් ස්වකීය වැඩිවිය පැමිණි රූ සම්පන්න දියණිය පිංගුත්තරට විවාහ කර දෙයි. ජාතක කථාවේ එන පිංගුත්තර විවාහයට අකමැති ය. රූමත් කුමරියට ඔහු ආකර්ෂණය වන්නේ නැත. ගුරු සිත නොරිදවා ඇදුරිදුගේ දියණිය ද විවාහ කොටගෙන වන මැදින් පිංගුත්තර මියුලු නුවර බලා පිටත් වේ.

මියුලු නුවරට ළඟා වෙද්දී පිංගුත්තරට අධික කුසගින්නක් දැනෙයි. ඔහු මියුලු නුවර අසලැති දිවුල් ගසකට නැග දිඹුල් කඩා කන්නට වෙයි. කුමරිය ගස මුල හිඳ තම ස්වාමියා දිඹුල් කනවා දැක තමන්ටත් දෙන ලෙස ඉල්ලුවද ඔහු ඇයට බැණ බැදී උවමනා නම් ගසට නැඟ දිඹුල් කඩා කන ලෙස පවසයි. කුමරිය කුසගිනි බැවින්ම ගසට නැඟ දිඹුල් කන්නට වෙයි. එම අවසරයෙන් පිංගුත්තර කටුරොදවල් ගෙන ගස මුල දමා පැන යයි. මෙම ස්ථානය පසුකර යන රජතුමා ඇයගෙන් තතු විමසා ඇය තම අගබිසෝ තනතුරට පත්කර ගනියි. දිඹුල් ගසේදි හමු වූ බැවින් ඇයට ‘උදුම්බරා’ නමින් නම් තබයි. මෙය අතුරු කථාවේ සාරාංශයයි.

සියලු රිදවුම් මැද ඔහු වඩ වඩා දයාර්ද වේ. ප්‍රේමවන්තයන්ගේ සිහිනවල උදුම්බරාවන් සදාකාලයේම ජීවත් වන බව කථකයා පවසයි. එහෙත් උදුම්බරා මලක සුවඳ රාත්‍රී තුන් යම උලා දැමූ විට ඉතිරිවන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. රාත්‍රී මලක් විකසිත වන්නට පෙර සුවඳ ද එකතු කරයි. එසේ එක්තැන් කරගත් සුවඳ ද සමඟ උදෑසන මලක් අසිරිමත් ව විකසිත වෙයි. සොබාදහමේ මෙකී සත්‍යය ගේය පද රචකයා මෙලෙස දකියි. 

රෑ තුන්යම සුවඳ උලා උදැසනින් මැකෙනා
කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා


එහෙයින් විකසිත වනවා වෙනුවට රුවට පිපුණු උදුම්බරා මලට සිදුවන්නේ උදෑසනින් මැළවී යාමට ය. අවසානයේ ඇයට අහිමි වීම පමණක් ඉතිරි වන්නට බැරි නැත. අවසානයේ කථකයා සිදු කරන ප්‍රාර්ථනය විසින් ඔහු සතු සැබෑ ප්‍රේමයේ තරම කියාපායි. හැරගිය ප්‍රේමවන්තිය දෙස මෛත්‍රීයෙන් බලමින් ඇයට යහපතක්ම වන්නට ප්‍රාර්ථනා කිරීමෙන් මෙම ගීතය උතුම් මානව ගුණ ප්‍රකට කරයි. 

උපුටා ගැනීම
අරුණ වේරගලගේ ‘අත්දැකීම්, ගීතය සහ රත්න ශ්‍රී විජේසිංහ’ කෘතිය (87 - 90 පිටු)
 

තීර්ථය - භාවමය රළ නගන වින්දනීය ගී ඉවුර
පළමු සංගීත යාත්‍රාව දියත් කිරීම - කුමාරදාස සපුතන්ත්‍රී සමඟ
අගෝස්තු මස 20 දින සවස 7.00 ට ආනන්ද විදුහල් කුලරත්න ශාලාවේදී
සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී
නාලක අංජන කුමාරගේ සංගීතයෙන්, නිලාර් එන්. කාසීම්ගේ මෙහෙයවීමෙන්

No comments:

Post a Comment