Sunday, June 19, 2016

ඇය යන්න ගියා මැකිලා - විප්‍රලම්භ ශෘංගාරය




ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්

 

විප්‍රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිටම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්‍රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුවද, විප්‍රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයකදී එය තව තවත් ප්‍රබල බවට පත්වෙයි.
ගුවන් විදුලි ගීත බොහෝමයක ම මේ විප්‍රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන නිර්මාණ ඇසෙන්නේ කලානිර්මාණ ලෙස නොව විලාපයන් ලෙස ය. ඒ මරළතෝනි අතර හදවතේ සියුම් තැන් සසල කරවන නිර්මාණයක් ලෙස සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද අමරසිරි පීරිස් ගයන ඇය යන්න ගියා නැමැති ගීය හඳුන්වා දිය හැකි ය.පි‍්‍රයයන් ගෙන් වෙන්වීම දුකක් ම ය. එය සදහට ම වෙන්වීමක් වූ විට ඒ වේදනාව තවත් ප්‍රබල වෙයි. රචකයා මෙහි දී ප්‍රතිනිර්මාණය කරනුයේ එබඳු සදාකාලික වෙන්වීමකි. ඒ වියෝව කලාත්මක ව ඉදිරිපත් කරනු පිණිස රමණීය පරිසරයක් පිළිබඳ චිත්‍රයක් කවියා විසින් මවනු ලබයි.

”ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඈ යන්න ගියා මැකිලා...”


ප්‍රේමයේ සම්ප්‍රයෝගය අත්විඳිද්දී ඔවුන් ගතකළ සුන්දර නිමේෂයන් දෘශ්‍යගෝචර අයුරින් රචකයා මෙහිදී ඉදිරිපත් කර තිබේ. මේ මැකීයාම ඇය මෙලොවින් සමු ගැනීමක් බව රචකයා සංකේතවත් කරයි.

”පිණි කඳුළක් මල් පෙති අග රඳවා
මීදුම් සළුවෙන් මුහුණ වසා...”


සුදු රෙදිකඩකින් ඇගේ මුහුණ වසා දැමීම රචකයා දකිනුයේ මිහිදුම් සළුවකින් මුහුණ වැසීයාමක් ලෙසයි. “වනසිරස” “තුරු හෙවණැලි” “පිණි කඳුළ” “මල්පෙති” ආදී යෙදුම් ප්‍රේමයේ සෞන්දර්ය චිත්‍රණය කිරීම සඳහා රචකයා ඉවහල් කරගෙන තිබේ. මට මේ සමඟ ම සිහියට නැඟෙන්නේ සිරී ගුණසිංහයන්ගේ පද්‍ය නිර්මාණයකි. ඇතැම් විට සුනිල් සරත් පෙරේරා උත්තේජනය ලබන්නේ මේ පද්‍ය නිර්මාණය රස විඳීමෙන් විය යුතුය. එහෙත් පද්‍ය නිර්මාණයේ ඇති ගොරෝසු බව මේ ගී පද රචනයෙහි දැකිය නොහැකි ය. පාඨක ඔබගේ වින්දනය පිණිස සිරිගුණසිංහයන්ගේ පද්‍ය පන්තියේ කොටසක් ඔබ ඉදිරියේ තබමි.

”මා හැරදා දර දඬුකොට දා මා අත්පා
ඇය යන්න ගියා මැකිලා
සැමරුම් වග වලසුන් රෑනට
මා ගොදුරක් වී
ලේ ගලනා ගොදුරක් වී
කාලයෙ ගන අඳුරෙන් වැසුණත්
සෙලවෙන හදවත පහනේ සිළුවෙන්
ඈ ගත දිලිසෙයි
දෑසට දිස් වෙයි
ගොරහැඩි ගල්ගෙඩි අතරින් ඈ
සීතල දිය ඉරක් සේ
ගලා බසී හද තෙමා බසී”


(සිරි ගුණසිංහ)


ඇය ඔහු සමඟ ජීවත් වූ කාලයේ ඔහුගේ ජීවිතය චමත්කාරයට පත්කොට තිබේ. මේ මොහොතේ පවා ඔහුට එය ආදරයෙන් සිහිපත් කළ හැකි ය. කඳුළු අතරින් ඒ පැහැබර අතීතයේ සොඳුරුතම සිදුවීම් ඔහුට මෙනෙහි කළ හැකි ය.  

"නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා"


ජීවිතයේ මිනිසුන්ට මුහුණ දීමට සිදුවන අනපේක්‍ෂිත අභාග්‍යයන් අපරිමිත ය. මෙය ද එබඳු අනපේක්‍ෂිත වූ අභාග්‍යයක් ම බව රචකයා දැනුවත් කරයි. ස්වභාව ධර්මය හා බැඳුණු උත්ප්‍රේක්‍ෂාලංකාරයන් යොදා ගනිමින් රචකයා තම සංවේදනා සනිටුහන් කරයි.

”යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිවිට
යළි නොඑතැයි ගිම්හානෙට පෙර”


මේ ගීතයේ පද මාලාවේ ඇති ශෝකී රසය මෙහි සංගීතය සමඟ මැනවින් බද්ධ කර ගැනීමට එච්.එම්. ජයවර්ධනයෝ සමත් වෙති. ඇතැම් විට ඔහුට මේ අත්දැකීම දැඩි ව දැනෙන්නට ඇත්තේ තම පි‍්‍රයාදර බිරිය වූ මාලනී බුලත්සිංහලයන් ගේ වියෝව ආසන්නයේ මේ තනුව නිර්මාණය වන්නට ඇති බැවිනි. එබඳු ඉතිහාසයක් මේ ගීය සතුව පවතින නමුත් එවැනි දුක්බර තැන් හාරා අවුසන්නට මම උත්සාහ නොකරමි.

”පෙමතො ජායතී ශෝකෝ”
ප්‍රේමය හැමවිට ම ශෝකයම උපදවයි යන අනිත්‍ය ධර්මතාවය ද නිර්මාණය පුරා අන්තර්ගත ය. මේ ගීතයට රචකයා, සංගීතඥයා මෙන්ම මෙය සුගායනය කළ අමරසිරි පීරිස් උපරිම සාධාරණය ඉටු කර තිබේ. මේ විරහව භුක්ති විඳින්නා තුළ පවතින ආත්මීය වේදනාව අමරසිරි තම හඬ පෞර්ෂය ඔස්සේ මනා ව ප්‍රතිනිර්මාණය කරයි. එය වෙණතතක් සේ හදවත සියුම් ලෙස ස්පර්ශ කරයි

හඳ එළියෙන් නැහැවුණු කඳුවැටිවල දෝංකාරය දෙමින්, පිණි කඳුළු සිපගත් මඳ සුළඟේ දැවටී එන ඒ විරහ වේදනාව, වනසිරසක තුරු සෙවණැලි අතරින් ගලා ගෙන පැමිණ හදවතේ ගැඹුරුම තැන ලැගුම් ගනියි.
 

6 comments:

  1. ඇත්තම කියන්නම්,
    මේ ගීතය මගේ ෆෙවරිට් ලිස්ට් එකේ නැහැ. ඒ මේ ස්ටයිල් එක මම අහන ස්ටයිල් එකට මැච් වෙන්නේ නැති නිසා. එත් මේ පොස්ටුව නම් බොහොම වටිනවා.
    බොහොම ලස්සන ගී විචාරයක්.

    වේ වගේ දේවල් බ්ලොග් වල දකින්න පටන් ගැනීම් ගැන බ්ලොග් වාසීන් වන අපිට බොහොම සතුටුයි.

    ඉස්සරහටත් මේ වගේ විචාර දකින්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබේ ප්‍රියතම ගීත ලැයිස්තුව දැන්වුවහොත් අපට හැකිවේවි ඉන් කිහිපයක් ගැනත් විචාරයක් ඉදිරිපත් කරන්න.

      Delete
  2. දෙවැනි විභීෂණගේ වගේම මගෙත් ප්‍රියතම ගීතයක් නොවේ මෙය.එනමුත් මේ ගීතයේ වචන වලට මමත් ප්‍රිය කරනවා.බොහොම සියුම් සංකේත භාවිතයෙන් නිමවූ අපුරු පද පෙළක්.

    ReplyDelete
  3. Nice.. Lassana Viggrahayak. Yamuna Gan thera wage geethayak ganath pala karoth wadat watinawa....

    ReplyDelete
  4. Nice.. Lassana Viggrahayak. Yamuna Gan thera wage geethayak ganath pala karoth wadat watinawa....

    ReplyDelete
    Replies
    1. යමුනා ගංතෙර තමළු ලතා සෙවනේ?

      Delete