Wednesday, June 29, 2016

හදේ කොතැනක හෝ තවමත් ඔබ ඉන්නවා

කුමාරදාස සපුතන්ත්‍රි ගීතයට යොදා ගත් ප්‍රේමණීය අත්දැකීම් ගැන කතා කරයි
 
 
 
ඔහු එදා මෙදාතුර ජීවිතේ ලැබූ අත්දැකීම් අපමණය. විශේෂයෙන් යොවුන් වියේදී ලැබූ ප්‍රේමය පිළිබඳව සුන්දර වූත් කටුක වූත් අත්දැකීම් පසුකලෙක ඔහු අතින් ඉතා සොඳුරු ගී නිර්මාණ බවට පත්වූයේ ය. ජීවිතයේ එක්තරා කාලයකදී ඔහු ප්‍රේමය වින්දනය කළේ ය. එමෙන් ම විදෙව්වේ ය. මේ හරහා ඔහු පසුකලෙක ගී ලියුවේ ය. ඒ ගී සියලු පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ආත්මය බදා වැළඳගත්තේ ය. එනිසා ම ඒ ගී නිර්මාණ අදත් රසිකයා අතර බෙහෙවින් ම ජනප්‍රියය ය. තමන් ලැබූ අත්දැකීම පොදු බවට පත්කළ ඔහු ප්‍රවීණ ගී පද රචක කුමාරදාස සපුතන්ත්‍රී ය. මේ ඔහු ප්‍රේමය වෙනුවෙන් ලියූ අප තෝරාගත් ගී කිහිපයකි. ගිලන් වූ හදවත් සුවපත් කිරීමට ද තනි වූ හදවත් තනිකමෙන් මුදවා ගැනීමට ද ප්‍රේමයට මහඟු බලයක් ඇත්තේ ය. ආදරය වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කිරීමට ද එකිනෙකාට ගෞරව කිරීමෙන් හදවත් සනසා ගැනීමට ද ප්‍රේමයට පුළුවන. වෙන්නොවන්නේ යැයි කියා ගිවිසා ගත්ත ද දෙදෙනාගේ වුවමනාව සඳහා නොව වෙනත් බාහිර බලපෑම් නිසා දෙපසකට වන්නට වූ විට එයින් තැවෙන්නේ ද දැවෙන්නේ ද ඔවුන් දෙදෙනා ය. මේ එවන් අත්දැකීමක කඳුළු බිඳුවකි.
 
හදේ කොතැනක හෝ හිදි ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්...



හදවතේ නොරැදි මැකී යන්නට යැයි කී ඇයගෙන් ඔහු සමුගත්තේ ය. අවසන ඔහු මෙසේ ලීවේ ය.


“සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිමි
වෙන්වීම මා ඇගෙන්”


යොවුන් පෙම්වතා තම පෙම්වතියගෙන් වෙන්වූයේ බොහෝ දුකිනි. සියල්ල අතීතයට එක්කර ඔහු හිත හදා ගන්නට වෙහෙස වූයේ ය. එහෙත් ඇගෙන් සමුගෙන යාම කියූ පමණින් ම පහසු වූයේ නැත. ඈ යන්නට ගියා ය. ඔහු ද ආපසු හැරුණේ ය. මුළු ලොව ම ගනඳුරේ ගිලී ගිය සේය.

එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා මගෙන් ඈ සමුගන්න

මුළු මහත් විශ්වයම නැවතුණු සේය. තමාගේ ලෝකය පාළු මුඩුබිමක් සේය. වසන්තය නිමා වූ සේ ය. සියල්ල සිදුවී හමාරය. ප්‍රේමය වෙනුවෙන් ලියැවුණු වියෝ ගී පිළිබඳව කුමාරදාස සපුතන්ත්‍රී පවසන්නේ මෙවැනි අදහසකි.

 “ජීවිතේ එක්තරා යුගයක ලැබූ අත්දැකීම් තමයි මේ ගී කිහිපයකට වස්තු විෂය වුණේ. ජීවිතේ පිළිබඳව හරියාකාර වැටහීමක් නොතිබුණු කාලේ පටන් ගත්ත ප්‍රේම සම්බන්ධය අතර මග නතර වුණේ දෙදෙනාගේ ම කැමැත්තෙන්. ඊට බලපෑවේ බාහිර හේතු සාධක. “හදේ කොතැනක හෝ හිදී” ගීයෙන් මට අවශ්‍ය වුණේ පෙම්වතිය අහිමි වීමෙන් මා ලැබූ දුක් අදෝනාව කීමට නොවෙයි. වෙන්වීම ප්‍රේමය වෙනුවෙන් කළ පරිත්‍යාගයක්... ඒ පරිත්‍යාගය හරහා තමයි ඇය හදේ සැඟවී සිටින්නේ. මෙය ඉතා සුළු සිදුවීමක්. මා ලැබූ විරහ වේදනාව පොදු බවට පත්කරමින් රසිකයාට නිර්මාණයක් ලෙසින් දී තිබෙනවා. මේ ගී ලියැවුණේ මීට අවුරුදු ගාණකට කලින්.


මේ සිදුවීම් සිදුවෙලා කාලයක් ගියාට පස්සේ ජීවිතේ සංක්‍රාන්ති සමයක් තිබුණා. ඒ සංක්‍රාන්ති සමයේදී ලැබූ අත්දැකීමක් තමයි එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයෙන් හැඩ වී රෝහණ වීරසිංහ මෙසේ ගයන්නේ.

කාලය ගෙවී ගියේ ය. ප්‍රේමය නිසා වැටුණ කඳුළු වියැළී යමින් තිබිණි. නැගුණු සුසුම මැකී යමින් තිබිණි. ඒ අතර වාරයේ හිත අලුත් බලාපොරොත්තුවක් වෙනුවෙන් සිහින දකින්නට වූයේ ය.


 “හැන්දෑකරේ අඹමල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා"


අලුත් පැතුම් ගොන්නක් හිත යටින් මතුව එන්නට විය. එය ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්නට ය.
ඈ ඇස ගැටුණු දා ඔහුට තනි රැක්ක පාළුව, තනිකම වැලපුණේ ය. ඒ තනිකමට ඔහු හැරදමා යන්නට වන නිසා ය.ඇස ගැටුන ‘රෝස කුසුම’ ආමන්ත්‍රණය කළේ හදවතේ ගැඹුරුම තැනට ය. රෝස කුසුම ජීවිතයට අලුත් පැතුම් ගොන්නක් ගෙන ආවේ ය.


“රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් ගෙනේ
නොලද සුවයක් සදා - පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී”


රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහයන් ගයන ගීතය ගැන සපුතන්ත්‍රි කියන්නේ මේ වගේ අදහසක්.
"ජීවිතේ අර කිව්ව සංක්‍රාන්ති සමයෙන් පස්සේ කවුළුවෙන් ඈත බලන කොට ඇස ගැටුණු රෝස මලක් තමයි මේ ගීයට අත්දැකීම වුණේ... ජීවිතේ සමඟ එකට සිටිය තනිකම යනවා අලුත් කෙනාට එන්න ඉඩ හැරලා. පාළුව තමයි හඬන්නේ. දුක තනිකම සියල්ල නිමා වෙනවා. ඒ අර රෝස කුසුම නිසා... මම මේ ගීය හැඳින්වූයේ පැමිණීම සහ පලායාම කියලා. කලක් ජීවිතය වෙලාගෙන තිබූ පාළුව තනිකම ඔහු හැර යන්නේ ය. ඒ ඇගේ මුදු සෙනෙහස, ළබැඳියාව නිසා ය. එහෙත් ඈ එන්නට පෙර ඔහු හා ඔහුගේ අවට සැරි සැරූ තනිකම ඉකිබිඳ හඬන්නේ ය. එනමුදු ඔහු සනසවාලන්නේ ඇගේ මුදු ආදරයයි. ඒ ඔහුගේ රෝස කුසුමියයි.


“ඔබේ සුවඳ ලද මොහොතින්
මා වෙලා සිටි ඒ ආදරෙන්
මගෙ තනිකම හඬයි ඉකිබිඳ
දෙපාමුල හැපෙමින්
වසා මුව දෝතින්...”


ඉනෝකා සමරවික්‍රම


උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි.

Sunday, June 19, 2016

ඇය යන්න ගියා මැකිලා - විප්‍රලම්භ ශෘංගාරය




ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්

 

විප්‍රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිටම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්‍රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුවද, විප්‍රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයකදී එය තව තවත් ප්‍රබල බවට පත්වෙයි.
ගුවන් විදුලි ගීත බොහෝමයක ම මේ විප්‍රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන නිර්මාණ ඇසෙන්නේ කලානිර්මාණ ලෙස නොව විලාපයන් ලෙස ය. ඒ මරළතෝනි අතර හදවතේ සියුම් තැන් සසල කරවන නිර්මාණයක් ලෙස සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද අමරසිරි පීරිස් ගයන ඇය යන්න ගියා නැමැති ගීය හඳුන්වා දිය හැකි ය.පි‍්‍රයයන් ගෙන් වෙන්වීම දුකක් ම ය. එය සදහට ම වෙන්වීමක් වූ විට ඒ වේදනාව තවත් ප්‍රබල වෙයි. රචකයා මෙහි දී ප්‍රතිනිර්මාණය කරනුයේ එබඳු සදාකාලික වෙන්වීමකි. ඒ වියෝව කලාත්මක ව ඉදිරිපත් කරනු පිණිස රමණීය පරිසරයක් පිළිබඳ චිත්‍රයක් කවියා විසින් මවනු ලබයි.

”ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඈ යන්න ගියා මැකිලා...”


ප්‍රේමයේ සම්ප්‍රයෝගය අත්විඳිද්දී ඔවුන් ගතකළ සුන්දර නිමේෂයන් දෘශ්‍යගෝචර අයුරින් රචකයා මෙහිදී ඉදිරිපත් කර තිබේ. මේ මැකීයාම ඇය මෙලොවින් සමු ගැනීමක් බව රචකයා සංකේතවත් කරයි.

”පිණි කඳුළක් මල් පෙති අග රඳවා
මීදුම් සළුවෙන් මුහුණ වසා...”


සුදු රෙදිකඩකින් ඇගේ මුහුණ වසා දැමීම රචකයා දකිනුයේ මිහිදුම් සළුවකින් මුහුණ වැසීයාමක් ලෙසයි. “වනසිරස” “තුරු හෙවණැලි” “පිණි කඳුළ” “මල්පෙති” ආදී යෙදුම් ප්‍රේමයේ සෞන්දර්ය චිත්‍රණය කිරීම සඳහා රචකයා ඉවහල් කරගෙන තිබේ. මට මේ සමඟ ම සිහියට නැඟෙන්නේ සිරී ගුණසිංහයන්ගේ පද්‍ය නිර්මාණයකි. ඇතැම් විට සුනිල් සරත් පෙරේරා උත්තේජනය ලබන්නේ මේ පද්‍ය නිර්මාණය රස විඳීමෙන් විය යුතුය. එහෙත් පද්‍ය නිර්මාණයේ ඇති ගොරෝසු බව මේ ගී පද රචනයෙහි දැකිය නොහැකි ය. පාඨක ඔබගේ වින්දනය පිණිස සිරිගුණසිංහයන්ගේ පද්‍ය පන්තියේ කොටසක් ඔබ ඉදිරියේ තබමි.

”මා හැරදා දර දඬුකොට දා මා අත්පා
ඇය යන්න ගියා මැකිලා
සැමරුම් වග වලසුන් රෑනට
මා ගොදුරක් වී
ලේ ගලනා ගොදුරක් වී
කාලයෙ ගන අඳුරෙන් වැසුණත්
සෙලවෙන හදවත පහනේ සිළුවෙන්
ඈ ගත දිලිසෙයි
දෑසට දිස් වෙයි
ගොරහැඩි ගල්ගෙඩි අතරින් ඈ
සීතල දිය ඉරක් සේ
ගලා බසී හද තෙමා බසී”


(සිරි ගුණසිංහ)


ඇය ඔහු සමඟ ජීවත් වූ කාලයේ ඔහුගේ ජීවිතය චමත්කාරයට පත්කොට තිබේ. මේ මොහොතේ පවා ඔහුට එය ආදරයෙන් සිහිපත් කළ හැකි ය. කඳුළු අතරින් ඒ පැහැබර අතීතයේ සොඳුරුතම සිදුවීම් ඔහුට මෙනෙහි කළ හැකි ය.  

"නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා"


ජීවිතයේ මිනිසුන්ට මුහුණ දීමට සිදුවන අනපේක්‍ෂිත අභාග්‍යයන් අපරිමිත ය. මෙය ද එබඳු අනපේක්‍ෂිත වූ අභාග්‍යයක් ම බව රචකයා දැනුවත් කරයි. ස්වභාව ධර්මය හා බැඳුණු උත්ප්‍රේක්‍ෂාලංකාරයන් යොදා ගනිමින් රචකයා තම සංවේදනා සනිටුහන් කරයි.

”යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිවිට
යළි නොඑතැයි ගිම්හානෙට පෙර”


මේ ගීතයේ පද මාලාවේ ඇති ශෝකී රසය මෙහි සංගීතය සමඟ මැනවින් බද්ධ කර ගැනීමට එච්.එම්. ජයවර්ධනයෝ සමත් වෙති. ඇතැම් විට ඔහුට මේ අත්දැකීම දැඩි ව දැනෙන්නට ඇත්තේ තම පි‍්‍රයාදර බිරිය වූ මාලනී බුලත්සිංහලයන් ගේ වියෝව ආසන්නයේ මේ තනුව නිර්මාණය වන්නට ඇති බැවිනි. එබඳු ඉතිහාසයක් මේ ගීය සතුව පවතින නමුත් එවැනි දුක්බර තැන් හාරා අවුසන්නට මම උත්සාහ නොකරමි.

”පෙමතො ජායතී ශෝකෝ”
ප්‍රේමය හැමවිට ම ශෝකයම උපදවයි යන අනිත්‍ය ධර්මතාවය ද නිර්මාණය පුරා අන්තර්ගත ය. මේ ගීතයට රචකයා, සංගීතඥයා මෙන්ම මෙය සුගායනය කළ අමරසිරි පීරිස් උපරිම සාධාරණය ඉටු කර තිබේ. මේ විරහව භුක්ති විඳින්නා තුළ පවතින ආත්මීය වේදනාව අමරසිරි තම හඬ පෞර්ෂය ඔස්සේ මනා ව ප්‍රතිනිර්මාණය කරයි. එය වෙණතතක් සේ හදවත සියුම් ලෙස ස්පර්ශ කරයි

හඳ එළියෙන් නැහැවුණු කඳුවැටිවල දෝංකාරය දෙමින්, පිණි කඳුළු සිපගත් මඳ සුළඟේ දැවටී එන ඒ විරහ වේදනාව, වනසිරසක තුරු සෙවණැලි අතරින් ගලා ගෙන පැමිණ හදවතේ ගැඹුරුම තැන ලැගුම් ගනියි.
 

Thursday, June 9, 2016

තොටියෙකුගේ අහිංසක දොම්නසක සිට විවෘත ආර්ථික ක්‍රම විවේචනයක් හරහා සිරිමාවෝ බණ්ඩාරනායක අහිනන්දනයක් තෙක්


ගී විචාරයක දී ඉහත මැය ඔබ තුළ අති මහත් කුතුහලයක් දනවනු බවට කිසිදු සැකයක් නොමැත. දක්ෂ ගී පද රචකයෙකු අතින් ලියැවෙන ගීතයකට බහු අරුත් දනවන එවැනි ශක්‍යතාවයක් ඇති බවට මෙම ගීතය අපූරු උදාහරණයකි.

කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට ... එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි

පදමාලාව - හේමසිරි ගුණතුංග
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස්‌






ගීතයෙහි මතුපිට අර්ථය ගඟ හරහා මගීන් එතෙර කළ පාරුකරුවකුගේ දොම්නස පිට කිරීමකි. පාලම ඉදි කිරීමෙන් පසු එතෙර යන්නට කිසිවෙකු පාරුව යොදාගන්නේ නැත. ඉර හැරී පාරුව අඳුරෙන් වැසී ගිය ද ලන්තෑරුම දැල්වීමට වෙහෙස වීම අර්ථ විරහිත ය. එගොඩ යන්නට පාරුවට ගොඩවන්නාවූ කිසිවකුත් නොවන බැවිනි.

දිනෙන් දින ඉදි කෙරෙන පාලම් වැඩබිම නිසා ස්වභාව ධර්මය ද වෙනස් වී ඇත. ගමෙහි සුන්දරත්වය ද කුරුල්ලන් සමඟම පළා ගොසිනි.

පාරුවක ගෙන යා හැක්කේ එයට දැරිය හැකි සීමිත බර ප්‍රමාණයක් පමණි. ඉන් එහා කිසිවක් ගමට සේන්දු වන්නේ නැත. පාරුව ද, තොටියා ද එක්තරා විදියකට ගම වෙත ළඟා වන දේ පිළිබඳ සීමා පනවයි. එහෙත් පාලම ඉදි වූ පසු එවන් සීමා මායිම් නැත. කන්ටේනර් රථ පුරා විවිධ දේ ගමට එයි. පාරුව විසින් පනවා තිබූ සීමා මායිම් ඉක්මවා ටොන් ගණනින් විවිධ දෑ ගමට පැමිණෙන්නේ තොටියාට සරදමට සිනාසෙමින් මෙන් ය.

අතීත ගමෙහි සුන්දරත්වය අතිශයෝක්තියට නඟන නිර්මාණ ලාංකේය ගීත සාහිත්‍යයෙහි විරල නැත. එහෙත් ඒ සමඟම ගැඹුරු යටි පෙළක් සහිත ගීත සුලබ නැත. එබැවින්ම හේමසිරි ගුණතුංග ගේ මේ ගීතය සුවිශේෂී ය.

ගීතය පුරාම සංකේත බහුල ය. ඉදිවන පාලම විවෘත ආර්ථිකයේ සංකේතයකි. එතෙක් කලක් ගම නගරය යා කිරීමට යොදා ගත් පාරුව පාලිත ආර්ථිකයක සංකේතයයි. ගමට පැමිණෙන බොහෝ දේ තීරණය වන්නේ පාරුවේ රැගෙන ඒමේ හැකියාව මත ය. එහෙත් ආර්ථිකය විවෘත වීමත් සමඟ සීමා විරහිතව සියලු දේ ගම වෙත ගලා එයි. පාලම් මෝල ද විවෘත ආර්ථිකය හා සබැඳෙන කාර්මීකරණයේ සංකේතයකි. තුලිත පරිසර පද්ධති මේ සමඟම විනාශ වීම කිරල කැලය හැර යන කුරුළු කොබෙයියන්ගෙන් සංකේතවත් ය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ ස්වර රචනය හද කම්පනය කරන විලාපයක් ඉතිරි කරයි. විවෘත ආර්ථිකය හමුවේ ගෝලීය ආර්ථිකයේ පරිධියෙහි ස්ථාපිත කොදෙව්වකට, ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රීය රටවලින් එල්ල වන ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික බලපෑම් පිළිබඳ තේමාගත ගීතයකට බටහිර සංගීත ආරකටම සංගීතය නිර්මාණය කිරීම කොතරම් අපූරු ද? ශ්‍රී ලාංකික ගායන ක්ෂේත්‍රයේ මහා හඬ පෞරුෂයක් සහිත රූපකායක් වන අමරසිරි පීරිස් පද මාලාවෙන් සහ නාද මාලවෙන් ඉල්ලා සිටින හුදකලාව, උකටලී බව, ඛේදය වැනි භාවයන් සිතේ නිදන් කරවයි. ගේය පද රචකයා, සංගීතඥයා, ගායකයා එක්ව අපට තිළිණ කර ඇත්තේ දශක ගණනාවක් අප හද කම්පනය කරන ගීතයකි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙම ගීතය වෙනත් කටයුත්තකට යොදා නොගැනෙන්නට තීර්ථය වෙනුවෙන් කෙරෙනා මෙම ගීත විචාරය මෙතනින් නිමාවන්නට ඉඩ තිබිණි. එය එසේ නොවන්නේ කේමදාසයන් මෙම ගීතය නිර්මාණය කරන්නේ වෙනත් අදහසක් සිත්හි දරාගෙන වන බැවිනි. ඒ ගේය පද රචකයා ද නොදැනුවත්වම ය.

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපන්දිනය සැමරීමට 88/89 කාල වකවානුවේ උත්සවයක් සංවිධානය කර තිබිණි. ඇය වෙත තිළිණ කිරීමට ගීත කැසට්පටයක් නිර්මාණය කිරීමට ප්‍රේමසිරි කේමදාසයන්ට අවශ්‍ය විණි. එය හුදෙක් ගීත කැසටයක් පමණක් ම නොව පවතින සමාජාර්ථික වටපිටාවට විරෝධය පළ කරන නිර්මාණ එකතුවක් ලෙස සිදුකිරීම ද ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇත. මෙම ගීතය ද, හේමසිරි ගුණතුංගයන් රචිත තවත් ගී තුනක් ද ඇතුළත්ව ‘‘සොහොයුරාණෙනි‘‘ ගීත කැසට් පටය එළි දකින්නේ එලෙසිනි.

පාලිත ආර්ථීක රටාවක සිට විවෘත ආර්ථික රටාවකට ශ්‍රී ලංකාව යොමු වූයේ 1977 දී සිරිමාවෝ බණ්ඩාරනායක  මැතිනිය මැතිවරණයෙන් පරාජය වූ පසුව බව සිහියේ තබාගෙන මෙම ගීතයට නැවත සවන් දීම සුදුසු යැයි මම යෝජනා කරමි.

පහන්