Tuesday, May 31, 2016

‘‘තීර්ථය‘‘ අගෝස්තු 20 වෙනි දා...


නිමක් නැතිවම අහස හඬා වැටෙද්දී,

උස් කඳු බිම් පවා සසැලී බිඳී වැටෙද්දී, එබිම් යට අසරණ සුසුම් පොදි සැඟවී මිලින වී යද්දී,

ගඟ දිය රළු වෙවී  ඉවුරු බිඳ පිටාර ගලා යද්දී,

දහසක් සහෝදර ජනතාවට උන් හිටි තැන් අහිමි වෙද්දී

සුභාවිත ගී රස විඳින්නට එන්නැයි කෙලෙස නම් ඇරයුම් කරන්නද?

‘‘අපි මේ වැඩේ කල් දාමුද? මිනිස්සු මේ තරම් අසරණ වෙලා ඉන්න මොහොතක අපි කොහොමද ගී රස විඳීමක් ගැන හිතන්නේ..“ ඒ සපූ... ඔබේ ආදරණීය ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රී.

‘‘තීර්ථය වැඩසටහන ටික දවසකට කල් දාන්න පුලුවන් නම් හොඳයි. මිනිස්සුන්ට ජීවිතත් අහිමි වෙලා, උන් හිටි තැනුත් අහිමි වෙලා අසරණ වෙලා ඉන්න මොහොතක්නෙ.‘‘ ඒ නිලාර්. තීර්ථය වැඩසටහනේ සම්ප්‍රවේශක නිලාර් එන් කාසිම්.

‘‘අපිට ගීතය ගැන කතා කරන්න වෙලාව හොයාගන්න පුලුවනි. මේ අසරණ වුණු මිනිස්සුන්ට උදව් කළ යුතු වෙලාවක්.. අපේ වැඩේ කල් දාමු. අපිදු තීරණයකට එළඹියෙමු.

ඒ අනුව ජුනි මස 11 වැනි දා පවත්වන්නට නියමිතව තිබූ ‘‘තීර්ථය සුභාවිත ගී රස වින්දන වැඩසටහනේ පළමු පියවර - ‘‘කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවලෝකනය අගෝස්තු මස 20 වන සෙනසුරාදා රාත්‍රී 7.00 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වෙන බව දන්වා සිටිමු.


මේ වන විටත් ඔබ ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන ඇත් නම් එදිනට වලංගු වන බව කාරුණිකව සලකන්න.  


   

Tuesday, May 17, 2016

කුකුළු හැවිල්ල නොහොත් කතරගම දෙවියන් පවා ඇන්දීම








දුදොනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ
 
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා
 
බලා එල්ල
හෙලුව හෙල්ල
මුල මැ බෙල්ල
මරු තැනේ
 
කතරගමට රුහුණු රටේ
හිඟා කකා, ලබන විටේ
පයින් මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ
 
දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඬ දී
“දෙවියනේ”
 
රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජු වටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි
 
කතරගමේ
බලමහිමේ
දුටු ද එමේ
හැම තැනේ
 
කියමින් නම'කුරු ඔබගේ
බොළඳුන්ගෙ ද කිරි තුඩගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ
 
දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ
 
මට කළ මෙවිපත අනේ
බලා-ගන්නැ දෙවියනේ
වැජැඹෙන නා මෙ විමනේ
බලන්නැ නා සාමිනේ
 
පද රචනය - රැයිපියල් තෙන්නකෝන්
ගී තනුව, සංගීතය හා ගායනය - සුනිල් සාන්ත



හෙළ හවුල බිහි කළ මහම කවියා රැයිපියෙල් තෙන්නකෝන් ය. ඒ ගැන කිසිදු වාදයක් ඇත්තේ නැත. සිංහල වංසය ඇතුළුව ඔවුන් විසින් ලියන ලද පද්‍ය සංඛ්‍යාව විසිපන්දහස ද ඉක්මවයි. ඒ තරම් අතිමහත් පැදි සංඛ්‍යාවක් ලියූ කවියෙක්, සම්භාව්‍ය හෝ අද්‍යතන හෝ සිංහල කාව්‍ය වංසයෙහි දැකිය නොහෙයි. මගේ පෞද්ගලික හැඟීම නම්, රැ. තෙන්නකෝන් කිවීහු “හෙළ බස් නයෙන්” මඳක් මිදුණාහු නම්, එසේ මිදී, සිය කවි බස මඳක් ලිහිල් කෙළේ නම් - සරල සුගම කෙළේ නම් - මේ මහරු කවියාගේ නම සිංහල කාව්‍ය රසිකයන්ගේ තුඩග නිබඳවම නැ‍ඟෙන නමක් වන්නට තිබිණි.

ඔවුන්ගේ විසිපන්දහසක් ඉක්ම වන පද්‍ය නිර්මාණ අතර, හැවිල්ල නමැති කෘතියෙහි ආ කුකුළු හැවිල්ල ඉතා ප්‍රබල වූ සුවිශේෂ පබැඳුමකි. කවියට පාදක වනුයේ, තමා සතුව සිටි කුකුළකු මරා අනුභවයට ගත් කුකුළු හොරකු ගැන, කතරගම කඳ දෙවිඳුන්ට කරන හැවිල්ලකි; දෙස් තැබීමක් හෙවත් සාප කිරීමකි. තව එකම බදාදා දවසක් එළඹෙන්නට පෙර, මේ සොරා වනසන මෙන්, කඳ සුරිඳුගෙන් කවියා ඉල්ලා සිටියි. එය යාතිකාවක් නොවෙයි. හුදු දේව ආයාචනයක් ද නොවෙයි. ඒ නම්, පලිගැහිල්ලකි. මෙම රචනය හැවිල්ලක් වන්නේ, ඒ අරුතිනි. මෙතැනදී කවියා, කුකුළා නැති වුණු ගැමියාගේ චරිතයට ආවේශ වී, කතරගම දෙවියන් ඉදිරියේ කරුණු දක්වනු පෙනෙයි. කඳ දෙවියන්, අතැති හෙල්ලෙන් බෙල්ල මුලටම ඇණ සොරා මරා දැමුවහොත්, ඒ දෙවියන්ගේ නමකුරු බාල බිලිඳු දරුවනගේ තොල් මත පවා රැ‍ඳෙන්ට කටයුතු කරමැයි, කවියා දිවුරා කියයි. කවියා, මේ හවන්නාගේ - පලි ගහන්නාගේ - සැබෑ ස්වරූපය ප්‍රතිනිර්මාණය කොට දක්වන අපූරුව, දුර්ලභ කවිත්වයට ඉතා හොඳ දෘෂ්ටාන්තයකි. රැ. තෙන්නකෝන් වැනි අදීන කවියකු - අප්‍රමාණ බුද්ධමතකු - නැති වුණු කුකුළකු ගැන මෙපරිදි කතරගම දෙවියන් ඉදිරියේ කන්නලව් කරනු ඇද්ද? රැ. තෙන්නකෝන් නමැති අග්‍රගණ්‍ය විද්වත් කවියා ගැන මැනවින් දන්නා කෙනකු, ඇතැම් විට එසේ ප්‍රශ්න කරන්නට ඉඩ ඇත

අපගේ ප්‍රස්තුතයෙන් මඳක් බැහැර යන්නේ වී නමුදු, එද මෙතැනට අදාළ නොවෙතැයි කියනු ද බැරිය. මන්ද යත්, කවියා සිය රචනයේ යටි පෙළින් හඟවන කරුණු කෙරෙහි ද අපගේ අවධානය යොමු විය යුතු හෙයිනි.

රැයිපියල් තෙන්නකෝන් නමැති මහා කවියාගේ නොනැමෙන, දරදඬු, එහෙත් අතිශයින්ම සෘජු ස්වාධීන චින්තනය පළ වන්නේ, මෙම කාව්‍ය නිර්මාණයේ යටි පෙළෙහිදීය.

දුකට පත් ගැමියා, රූණු රටට මතු නොව, මුළු රටටම මහ බලැති, කතරගම කරවමින් වැඩ වෙසෙන, කඳ සුරිඳුන් හමු වන්ට යන්නේ, තම කුකුළු නාම්බා, කුකුළු හොරකු විසින් මරා කෑ බව දන්වන්ටය. කාරණය, ඒ තරම්ම සිල්ලර එකකි. ගැමියා යන්නේ, දෙවියන්ගෙන් රටේ රජකම - ජනපතිකම - අගමැතිකම - ඇමැතිකම - වැනි බරපතළ දෙයක් ඉල්ලන්ට නොවෙයි! හුදෙක්ම, ඉතා පුංචි දෙයකටය. කුකුළු හොරෙකුට පලි ගහන්ටය. එහෙත් ගැමියා, මේ දෙවියන් ලවා ඒ සුළු කාරිය කරවාගන්ට, ලොකු උපායක් යොදයි. ඔහු කියන්නේ, කඳ දෙවියන්ගේ දදය හෙවත් කොඩිය, දැන් පාළු වී ඇති බවකි. “දදය ඔබගෙ පාළුය කා” යයි කියන්නේ එහෙයිනි. තමාගේ කොඩියේ වැජඹෙන්නේ ද කුකුළකු බැව් මතක් කර දුන් විට, කඳ දෙවියන්ට වුණත් කේන්ති යන්නේ නැති ද? මෙසමයෙහි අපගේ ඉලංදාරින්ගේ බසින් කියනවා නම්, ගැමියා කතරගම දෙවියන් “අන්දවන” අපූරුව බැලුව මැනවි. මේ රටේ සිදු වන අපරාධවල හැටියට, කෙරෙන හොරකම්වල හැටියට, කුකුළකු මරාගෙන කෑමත්, ඔය තරම් නම් බරපතළ වරදක් ද? ඒ වරදට, දෙවියන් විසින් කුකුළු හොරාට කළ යුත්තේ කුමක් ද? තම හෙල්ලෙන් හොරාගේ බෙල්ල මුලටම ඇනීමය. එද, ඊළඟ බදාදා වන්ට පෙරම දෙවියන් විසින් ඉටු කළ ‍යුත්තේය.දෙවියන් විසින් එසේ පලි ගත් විට තමා කරන්නේ කුමක් ද යනුත්, මේ ගැමියා දෙවියන්ට දන්වා සිටියි. ඊළඟ වතාවේ ඔහු කතරගම දෙවොලට එන්නේ, හිඟා කා උපයාගත් මුදල් වියදමෙනි. ඒ එන්නේ ද පයින්මය. ඇවිත්, තමාගේ නළල් ඇටය දෙවොල් බිම උලන්ට ද ඔහු පිළිණ දෙයි. එමතු ද? තම කාරිය කෙරුණාට පසුව, ඔහු දෙවියන්ට පුද දෙන්නේ මොනවා ද? රනින් කළ කුකුළු රුවකි. රිදියෙන් කළ බිත්තරයකි. රනින් කළ දුන්නක් හා ඊතල දෙකකි. රිදියෙන් නිම වූ දෙවියන්ගේම රූපයකි. ගැමියාට නැති වුණේ, එකම එක කුකුළු නාම්බෙකි. හොරාගේ බෙල්ලට තම හෙල්ලෙන් දමා ඇන්න පසුව, දෙවියන්ට ලැබෙන පුද සත්කාර කෙතෙක්දැයි බැලුව මැනවි

එතැන ද, හරියට තේරුම් ගත යුතු කාරණා කිහිපයකි. එක පැත්තකින්, ගැමියාගේ මෝඩකම - මූඪභාවය හෙවත් තකතිරුකමය. ඔහුගේ චින්තනය, කිසිසේත්ම ප්‍රායෝගික නොවේමැයි. අතාර්කික වේමැයි. අනිත් අතින්, ඔහුගේ අසීමාන්තික පලිගැනීමේ චේතනාවයි. රටේ මහම දෙවොලක් අරා සිටින බලවත් දෙවියකු ළඟට යන්නේ, මේ වැනි මිනිසුන්දැයි, කවියා ප්‍රශ්න නොකරනු ද?

අනිත් අතට, දෙවියන්ගේත් හැටි සුබාවයි. දෙවිවරු - ඒ කියන්නේ, බලවත්ම දෙවිවරු - වුණත්, වැඩ කරන්නේ මොන තරම් නම් ලාභාපේක්ෂාවෙන් ද? කවියා, එකරුණ ද ඉඟි නොකරතැයි සිතන්නේ කෙසේ ද?අංකුරකු වන මේ ගැමියා වුණත්, මේ පොරොන්දු වන්නේ, ඇත්තටම ඒ දේවල් දෙවියන්ට දෙන්ට ද? තම කාරිය කෙරුණු පසුව, වඩාත් අවකාශ ඇත්තේ, එය ඉටු නොකිරීමටය. අර වැනි බොරු පොරොන්දුවලින්, මේ තරම් බලවන්ත දෙවියකු වුණත්, ඇට්ටර ගැමියකුට, රවටන්ට බැරි මොකද? එකරුණ ද, කවියා නාසතැයි සිතන්නේ කෙසේ ද?ගැමියා, දෙවියන් ලවා තම ඉල්ලීම ඉටු කරවාගන්ට අන්තිමට ගහන ගැටය අපූරුමැයි. මේ බැලුව මැනවි.
“කියමින් නම'කුරු ඔබගේ
බොළඳුන්ගෙද කිරි තුඩගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ”මේ කියන්නේ කුමක් ද? දෙවියන්ගේ නම පොඩි බිලිඳු දරුවන්ගේ කිරි දෙතොල්වලින් පවා කියවන බවකි. දෙවියන්ට ද අවශ්‍ය වනුයේ, තම නම පතළ කරගන්ට බැව්, මේ ගැමියා හොඳ හැටි දනියි. දෙවියන්ට වැඩි වැඩියෙන් ලොකු ලොකු පඬුරු සහිත පූජා වට්ටි ද රැගෙන, දේවගැති “කස්ටමර්ලා” එන්නේ, එහෙම නම පතළ වුණොත් පමණකිය! අංකූරකු වන මේ ආනාදි ඇට්ටර ගැමියා, කුකුළු කොඩිය ද ගසාගෙන මොනරකු පිට නැඟී, මුළු මහත් රූණු රටම කරවන මහ බලැති කතරගම කඳ සිරිඳුන් “ඇන්දූ” හැටි, අගෙයි නේද? මෙතැන්හිදී, පාඨකයාට කිසියම් නිර්මාණ අභ්‍යාසයක් යෝජනා කරනු කැමැත්තෙමි.“කුකුළු හැවිල්ල” නම් වන මෙම මුළු රචනයම කෙරෙහි, නැවත ද අවධානය යොමු කළ මැනවි.කවියා මෙම රචනයෙහිලා, තම කුකුළා නැති වීමෙන් බලවත් සිත් තැවුලකට පත් ගැමියා කෙරෙහි සානුකම්පිත බැල්මක් හෙළන්නේ ද? ඔහුට අනුකම්පා කරන්නැයි, වදනකින් හෝ පාඨකයා අයදින්නේ ද? නැත්මැයි. ඒ අතර කවියා, ගැමියාට පිහිට වන්ට සිටින කතරගම කඳ සුරිදුන් කෙරෙහි පාඨකයා තුළ ගෞරව සම්ප්‍රයුක්ත හැඟිමක් ඇති කරන්නේ ද? දෙවියන් සතු බලය හා දෙවියන්ගේ සුපතළ ආනුභාවය පිළිබඳ හැඟීමක්, පාඨකයා තුළ දල්වන්නේ ද? නැත්මැයි. අනුසරින් බලන කල, ගැමියා කෙරෙහිත් දෙවියන් කෙරෙහිත් කවියාගේ “මැදිහත් වීමක්” නැති බැව් පෙනී යනවා ඇත. කවියා ඉතා ශූර ලෙස ස්වකීය පද සිත්තම මගින්, අපූරු අවස්ථාවක් නිර්මාණය කරනු පමණකි.තත්වානුරූපී වූ එකී අවස්ථා නිරූපණය කොට පසෙකට වන කවියා, ඒ සියල්ල හාස්‍යයට ලක් කොට, තෙමේ ද සිනා සෙන්ට වෙයි. තවත් එක් කරුණක් කෙරෙහි පමණක්, පාඨකයාගේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි. ගැමියා දෙවියන්ට පුද දෙන්ට පොරොන්දු වන පිදිවිලි ගැන මොහොතකට සිතන්න. ඔහු පුදන්ට යන කුකුළා, රනිනි. උගේ බිත්තරය රිදියෙනි. දෙවියන් අත තබන දුන්නත් ඊතල දෙකත් රනිනි. එහෙත් දෙවියා රිදියෙනි!උපහාසයෙහි - උත්ප්‍රාසයෙහි - කිරුළු දරා සිටි රැයිපියල් තෙන්නකෝන් නමැති ප්‍රතිභාවත් කවියා දෙවියන්ට සිනාසෙන අයුරු - මේ දෙවියා ද කුකුළු බිත්තරය තරමටම පැටි කරන අයුරු - ඔබට නෙපෙනේ ද? රැයිපියල් තෙන්නකෝන් කියන්නේ, ගැදි ලියුවත්, පැදි ලියුවත්, උපහාසය ද උත්ප්‍රාසය ද හොඳට හඳුනාගෙන සිය නිර්මාණ කාරියෙහි යෙදුණු, එහි අග තැන්පත්, එකී කාරියෙහි මනා බුහුටිකම් පළ කළ, අප්‍රමාණ සාහිත්‍ය නිර්මාතෘවරයාණ කෙනෙකි. (එකම අවාසනාව, ඔවුන්ගේ හැම කවියක්ම, ඔහු ලියූ අරුතින් අපට තෝරා බේරාගන්ට අපහසු වීමය!) “රනින් කුකුළු රුවක් පුදමි - රිදියෙන් බිජු වටක් පුදමි - රන් දුනු හී දෙකක් පුදමි - රුවට රිදී රුවක් පුදමි” යනු විසින් කවියා, වහ වහා බි‍ඳෙන යතියකින් යුතුව පද ගළපන අයුරු ද ඉතා මැනවි. ඒ ගී කඩ අතිශය නාට්‍යානුරූපීව ගායනා කරන්ට, සුනිල් සාන්තයන්ට හැකිව ඇත්තේ ඒ නිසාය.රැයිපියල් තෙන්නකෝන් නමැති සැබෑ කවියා මතු කරගත හැක්කේ, ඔහු අපෙන් සඟවාගෙන සිටින යට දැක්වුණු උත්ප්‍රාසය හරිහැටි තෝරාගත් විට පමණක් බැව් මෙනෙහි කරනු යෙහෙකිය.


Saturday, May 14, 2016

තීර්ථය වැඩසටහන හඳුන්වාදීමේ රූපවාහිනී සංවාදය - ජාතික රූපවාහිනිය නුග සෙවණ වැඩසටහන





"අපේ පාසල් වියේ, සරසවි කාලයේ ගීතය, සංගීතය කොහොමද අපේ ජීවිතවලට බලපෑම් කළේ, අපි කොහොමද ගීතය වින්දෙ කියල අපි කතාබහ කළා. අපි ගීතය එක්ක ආදරය කළා. ගීතය එක්ක විරහව වින්දා. ගීතය එක්ක ජීවිතය වින්දා. ක්ෂණික ආවේග, ප්‍රචණ්ඩකාරී හැසිරීම් වගේ දේවල් අපේ ජීවිතවලින් ඈත් කරන්න ගී රස වින්දනයෙන් ලැබුණු ශික්ෂණයත්, සංයමයත් අපිට උදව් වුණා. අද අලුත් පරම්පරාවට ඒ අත්දැකීම ලැබෙනවද කියන ප්‍රශ්නය මේ සංවාදයෙදි මතුවුණා.”


"ඒ වගේම ගීතයෙන් සමාජ වගකීමක් ඉටුකරන්නෙ කොහොමද කියල අපි අත්දැක්කා. ඒ අවස්ථාව අද පරපුරට ලබාදෙන්නෙ කොහොමද කියන සාකච්ඡාවෙදි මේ වගේ වැඩසටහනක් කරන්න ලැබුණොත් ඒක අද ටත්, හෙටටත් ලොකු සේවයක් වේවි කියල හිතුණා. අපේ වගකීමක් යුතුකමක් ඉෂ්ට කිරීමක් වගේ හැඟීමක් දැනුණා"
 
‘‘ඒ වගේම 70, 80 දශකයන්වල නිර්මාණය වුණ අර්ථවත්, රසවත් කලා නිර්මාණ රසවිඳීමේ භාග්‍යය ලැබුණු පරපුරක් අපි. විශේෂයෙන්ම ගීතය අපේ ජීවිතවලට ගොඩක් සමීපවුණා. අද තරුණ පරපුරට ඒ අවස්ථාව අහිමිවෙලා තියෙනවා. අද සියල්ල තීරණය වෙන්නෙ මුදල මත. ගීතය වුණත් වෙළඳ භාණ්ඩයක්. එහි සාහිත්‍යමය, සංගීතමය, සමාජමය අර්ථයට වඩා මතුවෙන්නෙ වාණිජ වටිනාකම. අසංවේදී සමාජයක් බිහිවෙන්න සාහිත්‍ය කලාවේ මේ පිරිහීමත් බලපානව කියල අපි හිතනවා. ඒ නිසා සමාජ යහපත වෙනුවෙන් යම් දායකත්වයක් අපෙනුත් ලැබිය යුතුයි කියල අපි විශ්වාස කරනවා. මේ කරුණු තමයි සුභාවිත ගී වැඩසටහනක් කරන්න අපිව යොමුකරන්නෙ.”