කියා දෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා ....
සංගීතය පිළිබඳ මා අසා ඇති හොඳ ම නිර්වචනයක් වන්නේ ‘‘ශ්‍රවණය කළ හැකි හැඟීම්" යන්න ය. අප රස විඳින බොහෝ ගීත එම වකවානුවේ හෝ එම මොහොතේ රස විඳින්නේ අප සිත් තුළ ඇති හැඟීම් සමුදායට අනුකූල වීම නිසාය. අපගේ ප්‍රියතම ගීත අතර එක් එක් මනෝභාවයන්ට උචිත ගීත කිහිපයක් ම තිබීම අරුමයක් නොවේ.
මෙවන් පිවිසුමකින් මෙම සටහන ඇරඹුණද එහි අරමුණ නව ගීතයක් පිළිබඳව විචාරයක් ලිවීම නොවේ. බොහෝ කලක සිට අප ශ්‍රවණයට නැගෙන චන්ද්‍රලේඛා පෙරේරාගේ " මේ පාළු සීත රාත්‍රියේ ගීතය පිළිබඳ මගේ හැඟීම් විවරණය කිරීම ය. ප්‍රියානන්ද විජේසුන්දරගේ පද රචනයක් වන මෙම ගීතය මුල් වරට අසන්නට ලැබුනේ 1980 දශකයේ බව මගේ මතකයයි.
හැඟුමන් ගායනය ගීතයකදී එහි අර්ථය අසන්නා වෙත සම්ප්‍රේෂණය කිරීමේ උචිතම මාර්ගය යි. සංගීතයෙන් අදාල හැඟුම ප්‍රකාශයට පත් කළ හැකි වුවත් ගීතයක් හරහා හැඟීම් සංනිවේදනයේදී මිනිස් කටහඬ සංගීතය තරම්ම ප්‍රබල වේ.
මෙම ගීතය සිහිලැල් රාත්‍රියක හුදකලාවම ප්‍රේමය වෙනුවෙන් අපේක්ෂා සහගතව බලා සිටිනා පෙම්වතියකගේ හැඟීම් විදාරණය කරන්නකි. ප්‍රේමය සහ අනුරාගය මුසුවූ හැඟීමකින් ඇය පෙළෙයි. මුළු ගීතය ම ඇයගේ අනුරාගයේත් විප්‍රයෝගයේත් ප්‍රකාශනයකි. චන්ද්‍රලේ්ඛාගේ ගැයුම සප්ත ස්වර හා මුසු වන විට එම ප්‍රේමාන්විත හැඟීම් පියාපත් ලැබ විසල් අහසට ඉගිලෙන්නාක් මෙනි.
"මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා"
"පාළු" සහ "සීත" යන වදන් යුග්මය උච්චාරණය කරනුයේ අසන්නාගේ ගතට ඒ හැඟීම් දැනවෙන ආකාරයට ය. ඒ හැඟීම් මැද සිත ඉන් මිදවිය හැකි හොඳ ම හැඟීම ප්‍රේමය ම නොවේ ද? "ප්‍රේමය" යන වදන ගයන්නේත් එම සිතුවිල්ලම උත්කර්ෂවත් වන ආකාරයකට ය.
"නිදිමත තරුකැට කඩා වැටේ
ඉඩදී අඳුරට අහස්තලේ
සඳ මල මිලිනව බලා හිදී
දකින තුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා"
තරුකැට ද, සඳ ද අඳුරට ඉඩදී බලා සිටින්නේ මේ යුවලගේ අඩ නුවන් දැක ගැනීමටයි. ඇය බලා සිටිනුයේ ඔහු ඇයගේ ළය මඬල මත ඔහුගේ මුහුණ හොවාගෙන ප්‍රේමය යනු කිමෙක්දැයි ඇයට කියාදෙන තෙක් ය. කෙතරම් ශෘංගාරාත්මක ද?
"ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින් බිඳී
පිණි කඳුලැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ලං කර රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් මෙයයි කියා"
මුළු පරිසරය ම ඉල්ලා සිටින්නේ පෙම්වතුන් දෙදෙනාගේ එක්වීමයි. ගහකොළ නිසලව හිඳී. පිණි වැටෙන්නේද කඳුලැලි මෙනි."සුසුමක් සුසුමට ලං කර ප්‍රේමය නම් මේ යැයි' කියා දෙන ලෙස පෙම්වතිය කියයි. ප්‍රේමයෙන් ආනන්දයට පත් වූ යුවලකගේ දුරස්ථ වීමේ විප්‍රයෝගය ගැන ගැයෙන මේ ගීය හෘද සංවේදී ප්‍රේමය ගීතයකට පූර්වාදර්ශයක් මෙනි.
සිය සහකරුගේ හෝ සහකාරියගේ ඇසුරින් ඈත්වී සිටිනා එහෙත් එයම පතනා පෙම්වතියකට හෝ පෙම්වතෙකුට මේ ගීය සිය මනෝභාවයන් හා කදිමට සුසර වනු ඇත. වරක් දෙවරක් නොව බොහෝ වාර ගණනක් වුව මෙම පද මාලාව මධුර හඬින් ගැයෙනු ඇසීමට ලොබ බඳිනු ඇත. මා හට සිදු වූයේද එය ම විය හැක.
සුගායනීය හඬ - චන්ද්‍රලේඛා පෙරේරා
ගේය පද - ප්‍රියානන්ද විජේසුන්දර
සප්ත ස්වර මුසුව - සමන් කුඹුකගේ
No comments:
Post a Comment