Thursday, April 28, 2016

නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව...


Pareja Y Estrellas Wallpaper
( මහාචාර්ය සුචරිත ගම්ලතුන් බීබීසී සංදේශය සඳහා සම්පාදනය කළ ගී මිණි ආර ඇසුරෙනි. )

නිලාර් එන්. කාසිම් ගේ ගේය පද රචනයෙන් ද, සමන්ත පෙරේරාගේ ස්වර රචනයෙන් ද, මාලනී බුලත්සිංහල හා අසංග ප්‍රියමන්ත පීරිස් ගේ ගායනයෙන් ද යුතු මේ ගීතය විප්‍රලම්භ ශෘංගාර රසය පෝෂණය කරන අගනා නිර්මාණයකි.

විප්‍රලම්භ ශෘංගාරය යනු නා නා සමාජ-ආර්ථික, කුල ගෝත්‍ර, චාරිත්‍ර වාරිත්‍රාදී බාධා නිසා පෙම්වතුන්ට හා පෙම්වතියන්ට එක් වීමට නො ලැබීමෙන් උපදින සියුම් ශෝකයයි. මේ සමාජ ක්‍රමය තුළ පෙම්වතුන්-පෙම්වතියන් එක් වුව ද ඔවුනට උදාවන්නේ දුක්බර පැවැත්මක් ම බව කියනු ම කවරේ ද? එහෙත් ඒ පැවැත්මේ සැබෑ තතු දැන ගැනීමටවත් ඔවුහු එක් විය යුතු නොවෙත්ද? දුක්බර බව මැද වුව සාපේක්ෂ සොම්නස් සහගත මොහොතවල් පැවතිය නො හැකිද?

මේ ගීතයෙහි යට කී විප්‍රලම්භ ශෘංගාරය පියවරෙන් පියවරට කෙමෙන් ඉහළ නංවා තීව්‍ර අදියරකට ගෙන එනු ලැබේ.

සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව?

‘‘සඳ දිය යනු සඳ රැස යි. වතුරක් මෙන් ලොව වටේ ගලා යන හෙයින් ‘‘දිය” යැයි කියවිණ. සඳ දිය සුදු ය. සිහිල එළවයි. සිනහව සඳ දියෙන් දෙවුණාක් වැන්නැයි කී කල්හි කුන්ද දසන් විදහා සෙන සිනාවේ ධවල වර්ණයත් විහිදී යන කාන්තියත් එයට ගෝචර වන්නට දැනෙන සිහිලසත් හැඟවේ. පිපෙන්නේ මල් විනා සිනහව නොවේ.

එහෙත් ‘‘සිනහව පිපුණා ම” යන්නෙන් පිපී දිලෙන මලක පවත්නා ශ්‍රී විභූතියත්, සුගන්ධයත් සිනහවට ආරෝපණය කෙරෙයි. මේ හැඟීම් මත ගොඩ නගන ‘‘නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව?” යන්නෙන් පෙම්වතා තුළ පෙම්වතිය කෙරේ උපන් ලාලසාව හැඟවෙයි.

එහෙත් පෙම්වතිය මෙහි දී ඉතා ම කාලෝචිත ප්‍රශ්නය නඟයි. ජාති, කුල ආදී සිරිත් මග අවුරා ගෙන සිටින කල්හි මෙලෙස හැමදා හමු වී වැළපීම විතර ද අප හට ඉතිරිව ඇත්තේ?

එයට පෙම්වතා දෙන පිළිතුරෙහි එක් වීම සඳහා ඔවුන් තුළ පවත්නා පැතුමේ සුන්දරත්වය ගැබ් වෙයි. ඒ පැතුම රහසේ ම අහසට නැඟ පුර පස සඳපාන වී දිලිසෙයි. පැතුම් අහසට නැගෙයි යන්නෙන් ඒවායේ අපරිමිත සෞන්දර්යයත් ධ්වනිත වෙයි. පුර පක්ෂයේ පූර්ණ චන්ද්‍රයා ඉහළ නභෝ ගර්භ මධ්‍යය අරා බබළන කල්හි දැවැන්ත ඉන්ද්‍රනීල පාත්‍රයකින් ගලා බස්නා ක්ෂීර ධාරා මෙන් මිහි තලය වසා විහිද යන සඳ රැස් ගත සිත නිවා සනසනු මතු නොව අපරිමිත සෞන්දර්යයෙන් නෙත් සිත් වශී නොකරන්නේ ද? ඉහත යෙදුම්වලින් පෙම්වතුන්ගේ පැතුම්වලට මෙකී ගුණ ආරෝපණය නොවන්නේ ද?


එහෙත් මීළඟට පෙම්වතිය අසන ප්‍රශ්නයෙන් එකී පැතුම් නැග ආ සැණින් ම බිඳ හැළෙන ආකාරය ප්‍රකට වෙයි. ඒ පුර පස සඳ දියවක සඳ බවට පෙරළී දිය වී ගොසින් තරු ඇස අසල රැඳේ. තරුවෙහිත් එහිත් දැන් වැඩි වෙනසක් නැත.

මෙලෙස එකතු වීමේ පැතුම් නැගී නැගී විත් යළි යළිත් බිඳ හැළෙන බව සැබවි. එහෙත් ඒ පැතුම් යළි යළිත් නැග ඒම එයින් වැළකේද? ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ සමාජයෙන් එල්ල වන ගැරහුම් නමැති රළ දහරින් සෝදා හළ නො හැකිම ය.

මේ උභතෝකෝටිකයට විසඳුම කවරේ ද? එය පහත සඳහනි.

‘‘කඩඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නලියන නල සේම”

එහෙත් ඒ අත වැනීම නලියන නල වැන්න. නල නලියයි. හමා එයි. ආපසු හමා යයි. එක තැනෙක නො රැඳෙයි. පෙම්වතුන්ගේ එක්වීමේ අභිලාෂය ඇති ව නැති වන අයුරු හැඟවීමට මෙය කොතරම් අපූරු උපමාවක් ද?

මෙලෙස නැඟ ගොස් බැස යන පෙම්වතුන්ගේ පැතුම් සමඟ ගමන් කරන රසිකයා ඔවුන්ට උදා වී ඇති දුර්දශාව අරබයා කම්පිත ළයින් යුතු වෙයි.  



සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණා ම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව

දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේ ද පුර පස වී සඳපාන

ඒ හඳ ඇයි ද දියවක වී මුළු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව

කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වන පන් නලියන නළ සේම........


ගේය පද - නිලාර් එන් කාසිම්

හඬ මුසුව - අසංක ප්‍රියමන්ත පීරිස්, මාලනී බුලත්සිංහල

තනු නිමැවුම - සමන්ත පෙරේරා

මහාචාර්ය සුචරිත ගම්ලත්

නිලාර් එන් කාසිම්

සමන්ත පෙරේරා


අසංග ප්‍රියමන්ත පීරිස්

මාලනී බුලත්සිංහල

1 comment:

  1. nice song. I just LOVE it. මම අසංග ප්රියමන්තගේ ගීත වලට කැමති කෙනෙක් නෙවෙයි. කැමති උනේ සින්දු 3යි. එකක් මේක

    ReplyDelete