Monday, April 25, 2016

තීර්ථය - වින්දනාත්මක ගී සැඳෑව



සමාජ පරිහානියේ බිහිසුණු බව, දුක්ඛදායක බව, රළු කටුක බව අපි නිරන්තරයෙන් අත්දකිමින් සිටිමු. දින දින අසන්නට දකින්නට ලැබෙන්නේ මනුෂ්‍යත්වය සිඳී ගොස් නොමිනිස්කම් රජයන බවට සාක්ෂ්‍ය සපයන සමාජ සංසිද්ධීන් ය. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් ආදී අපරාධ ජනමාධ්‍යයන්හි රස මසවුළු ය. ප්‍රේමයෙන් පරාජය වූ තැන මිනීමැරුමකි. නැත්නම් සියදිවි හානි කරගැනීමකි. විද්‍යුත් මාධ්‍ය ද, සමාජ ජාල ද, මුද්‍රිත මාධ්‍ය ද මේ පිළිබඳව වාර්තා කරනුයේ මහත් ජුගුප්සාජනක අයුරිනි. මෙවන් පසුබිමක මනුෂ්‍යත්වය පුබුදුවාලන සමාජ රටාවක් ස්ථාපිත වනු ඇතැයි කෙලෙස නම් සිතිය හැකිද?


අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම යෙහෙකි ය. සුභාවිත සාහිත කලා ඇසුර කෙමෙන් කෙමෙන් අප සමාජයෙන් දුරස් වීම ද මෙම සමාජ පරිහානියට හේතු වී යැයි අපි සිතමු. සුභාවිත කලාවෙන් ශික්ෂණය නොලද මිනිසා බොහෝ විට සමාජ කාරණා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වනුයේ අතිශය ප්‍රචණ්ඩකාරීව ය. ඒකමාණිකව ය.

එහෙයින් මේ අවිඳු අඳුරට එරෙහිව කලා පහනක් දැල්වීම අපගේ අරමුණයි. ඒ සඳහා අප තෝරා ගත් මඟ සුභාවිත ගීතය යි. සංගීතය යි. මිනිසා ස්වභාවයෙන්ම සංගීතයට, තාලයට, ශබ්ද මාධුර්යයට දක්වන නැඹුරුතාව සැලකිල්ලට ගෙන යෞවනය, තාරුණ්‍යය ආමන්ත්‍රණය කිරීමට පහසුම මාවත ලෙස අපි සංගීතය තෝරා ගනිමු. 

මෙම යහඅරමුණ පෙරදැරිව සුභාවිත ගී රස වින්දන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු. එම සුභාවිත ගී පෙළහර ‘‘තීර්ථය” ලෙසින් නාමකරණය වනු ඇත. තීර්ථය යනු භාව යාත්‍රා නැංගුරම්ලන තොටුපළයි. හුදු වින්දනීය අත්දැකීමකින් ඔබ සප්තස්වරයෙන්, මධුර භාෂිතයෙන් පැහැසර වූ හරිත දනව්වකට එතෙර කරලන තොටුපළ යි.

තීර්ථය වැඩසටහන ඉදිරිපත් වන්නේ ප්‍රවීණ ගායක ගායිකාවන්, නව පරපුරෙහි කුසලතා පිරි ගායක ගායිකාවන් සහ ගීත රචකයින්, ප්‍රවීණ වාදක මණ්ඩලයක් සමග ඉදිරිපත් කරන ගීත රසවින්දන වැඩසටහන් මාලාවක් ලෙසිනි. වැඩිහිටි පරපුර සහ තරුණ පරපුර අතර රස වින්දනාත්මක පරතරය පියවනු පිණිස ම තීර්ථය ගී සැඳෑව පැවැත්වෙනුයේ ජ්‍යෙෂ්ඨ පරපුරේ ගායක ගායිකා දෙපළක් සහ නව පරපුරේ ගායක ගායිකා දෙපළක් සමඟිනි. ගැයෙන්නේ සුභාවිත ගීත සමුච්චයකි.

එය සාම්ප්‍රදායික සංගීත ආකෘතියෙන් මිදී නව්‍යමය වූ මං පෙත් ඔස්සේ ගී රස වින්දනයට කතිකාවතක් අරඹනු ඇත. මෙහි පළමු අදියර ගීත රචකයින් දසදෙනෙකු සමඟ රසවින්දනාත්මක වැඩසටහන් දහයක් ඉදිරිපත් කිරීමයි. 

ප්‍රබුද්ධ ගීත රචකයකු සමඟ ඔහු විසින් රචිත ගීත විස්සක පමණ වින්දනාත්මක සැඳෑවක් ලෙස වැඩසටහන් ආකෘතිය සකස් වී ඇත. එම ගීත නිර්මාණය වූ පසුබිම, එහි අරුත, සුවිශේෂිතා සහ එය ජීවිතය සමඟ බද්ධවන ආකාරය පිළිබඳව පිළිසඳරක යෙදෙමින් ගීත රස විඳීමට සහභාගි වන ප්‍රේක්ෂක සැමට අවස්ථාව සැලසේ. ගීත තෝරාගෙන රස විඳීමට අවශ්‍ය මඟපෙන්වීම වත්මන් තරුණ පරපුරට ලබා දීම මේ සංවාදයෙන් සිදුවනු ඇතැයි අපේක්ෂිත ය. ගීතයේ පද මාලාව, සංගීතය සහ ගායනය ඉක්මවා ගිය සියුම් තැන් රසවින්දනයටද මග හසර එළිකර දීම අපගේ අරමුණු අතර වේ.

පළමු අදියරෙහි වැඩසටහන් සඳහා සහභාගි වන ගීත රචකයින් අතර කුමාරදාස සපුතන්ත්‍රී, රත්න ශ්‍රී විජේසිංහ, මහාචාර්ය සුනිල් ආරියත්න, බන්දුල නානායක්කාරවසම්, සුනිල් සරත් පෙරේරා, ලූෂන් බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, නිලාර් එන්. කාසිම්, වසන්ත කුමාර කොබවක ආදීහු වෙති. ඔවුන්ගේ පන්හිඳෙන් හැඩවුණු ජනප්‍රිය ගීත ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ, ටී.එම්. ජයරත්න, අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ආදී ප්‍රවීණ ගායක ගායිකාවන් ය. නව පරපුර නියෝජනය කරමින් දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී, අමල් පෙරේරා, සමන් ලෙනින් ආදී ශිල්පීන් සහභාගි වීමට නියමිත ය.

මෙම වැඩසටහන් සියල්ලේම සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතඥ නාලක අංජන කුමාර විසිනි. පිටපත හා නිවේදන කටයුතු ප්‍රවීණ ගීත රචක, නිවේදක නිලාර් එන්. කාසිම් විසින් සිදුකරයි.

මින් පළමු අදියරේ පළමු වැඩසටහන දැනටමත් සැලසුම් කර ඇති අතර ඒ සඳහා ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී සහභාගි වේ. ගීත ගායනා සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී විසිනි.



ප්‍රවීන ගීත රචකයකු සමග තෙමසකට වරක් තීර්ථය දියත් වෙනු ඇත.

එන්න.......... ගීතය ගැන, ජීවිතය ගැන අලුතින් හිතන්නට හිතට ඉඩ දෙමු. 

අරුත් සපිරි සුමධුර පද සරණියත්, සියුම් සප්තස්වර නාදයත් සමඟ ආත්මීයව බද්ධ වන ගී හඬක දැහැන් ගත වෙමු. 

එන්න.......... බසක මිහිර හා මුසු වුණ සප්තස්වර අසිරියක පෙළහර සමඟ චමත්කාරජනක හෝරා තුනක් සජීවී හෘද සංවාදයක යෙදෙන්න මේ ආදරණීය ඇරයුමයි. 

තොරතුරු සඳහා පිවිසෙන්න.

www.theerthaya.com
  
 


13 comments:

  1. එළකිරි! කාලේ දුර වැඩියි දැන්ම පැමිණීම ගැන කියන්න..

    ReplyDelete
    Replies
    1. ළං වෙද්දි මතක් කරන්නම්.

      Delete
  2. එදා ගැයුනු ගී ජ්‍යේෂඨයින්ගේ මෙන්ම නව පරපුරේ හඬින් රස නොනසා අසන්නට. ගීතයේ පසුබිම් කතාව ගී රචක කුමාරදාස සපුතන්ත්‍රීගේ මුවින් ම අසන්න.

    ReplyDelete
  3. අගේ ඇති වැඩක්.............. ජයවේවා.....

    ReplyDelete
  4. තරු, මීලඟ වර පිටපත නිලාර්ට නැතුව බන්දුලට දීල බලන්න. මමනම් පුද්ගලිකව නිලාඅර්ගෙ වැඩසටහන් පිටපත් රචනයට අකමැතියි, ඒ අතින් බන්දුල මාර ටැලන්ට්.

    කොහොම උනත් වැඩේට සුභ පතනව!!

    ReplyDelete
    Replies
    1. මම මේ අදහස සංවිධායක මඩුල්ලට කියන්නම්. ස්තුතියි ඉන්දික..

      Delete
  5. හොඳ වැඩක්.....අගය කරමි!!

    ReplyDelete