Thursday, April 28, 2016

නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව...


Pareja Y Estrellas Wallpaper
( මහාචාර්ය සුචරිත ගම්ලතුන් බීබීසී සංදේශය සඳහා සම්පාදනය කළ ගී මිණි ආර ඇසුරෙනි. )

නිලාර් එන්. කාසිම් ගේ ගේය පද රචනයෙන් ද, සමන්ත පෙරේරාගේ ස්වර රචනයෙන් ද, මාලනී බුලත්සිංහල හා අසංග ප්‍රියමන්ත පීරිස් ගේ ගායනයෙන් ද යුතු මේ ගීතය විප්‍රලම්භ ශෘංගාර රසය පෝෂණය කරන අගනා නිර්මාණයකි.

විප්‍රලම්භ ශෘංගාරය යනු නා නා සමාජ-ආර්ථික, කුල ගෝත්‍ර, චාරිත්‍ර වාරිත්‍රාදී බාධා නිසා පෙම්වතුන්ට හා පෙම්වතියන්ට එක් වීමට නො ලැබීමෙන් උපදින සියුම් ශෝකයයි. මේ සමාජ ක්‍රමය තුළ පෙම්වතුන්-පෙම්වතියන් එක් වුව ද ඔවුනට උදාවන්නේ දුක්බර පැවැත්මක් ම බව කියනු ම කවරේ ද? එහෙත් ඒ පැවැත්මේ සැබෑ තතු දැන ගැනීමටවත් ඔවුහු එක් විය යුතු නොවෙත්ද? දුක්බර බව මැද වුව සාපේක්ෂ සොම්නස් සහගත මොහොතවල් පැවතිය නො හැකිද?

මේ ගීතයෙහි යට කී විප්‍රලම්භ ශෘංගාරය පියවරෙන් පියවරට කෙමෙන් ඉහළ නංවා තීව්‍ර අදියරකට ගෙන එනු ලැබේ.

සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව?

‘‘සඳ දිය යනු සඳ රැස යි. වතුරක් මෙන් ලොව වටේ ගලා යන හෙයින් ‘‘දිය” යැයි කියවිණ. සඳ දිය සුදු ය. සිහිල එළවයි. සිනහව සඳ දියෙන් දෙවුණාක් වැන්නැයි කී කල්හි කුන්ද දසන් විදහා සෙන සිනාවේ ධවල වර්ණයත් විහිදී යන කාන්තියත් එයට ගෝචර වන්නට දැනෙන සිහිලසත් හැඟවේ. පිපෙන්නේ මල් විනා සිනහව නොවේ.

එහෙත් ‘‘සිනහව පිපුණා ම” යන්නෙන් පිපී දිලෙන මලක පවත්නා ශ්‍රී විභූතියත්, සුගන්ධයත් සිනහවට ආරෝපණය කෙරෙයි. මේ හැඟීම් මත ගොඩ නගන ‘‘නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව?” යන්නෙන් පෙම්වතා තුළ පෙම්වතිය කෙරේ උපන් ලාලසාව හැඟවෙයි.

එහෙත් පෙම්වතිය මෙහි දී ඉතා ම කාලෝචිත ප්‍රශ්නය නඟයි. ජාති, කුල ආදී සිරිත් මග අවුරා ගෙන සිටින කල්හි මෙලෙස හැමදා හමු වී වැළපීම විතර ද අප හට ඉතිරිව ඇත්තේ?

එයට පෙම්වතා දෙන පිළිතුරෙහි එක් වීම සඳහා ඔවුන් තුළ පවත්නා පැතුමේ සුන්දරත්වය ගැබ් වෙයි. ඒ පැතුම රහසේ ම අහසට නැඟ පුර පස සඳපාන වී දිලිසෙයි. පැතුම් අහසට නැගෙයි යන්නෙන් ඒවායේ අපරිමිත සෞන්දර්යයත් ධ්වනිත වෙයි. පුර පක්ෂයේ පූර්ණ චන්ද්‍රයා ඉහළ නභෝ ගර්භ මධ්‍යය අරා බබළන කල්හි දැවැන්ත ඉන්ද්‍රනීල පාත්‍රයකින් ගලා බස්නා ක්ෂීර ධාරා මෙන් මිහි තලය වසා විහිද යන සඳ රැස් ගත සිත නිවා සනසනු මතු නොව අපරිමිත සෞන්දර්යයෙන් නෙත් සිත් වශී නොකරන්නේ ද? ඉහත යෙදුම්වලින් පෙම්වතුන්ගේ පැතුම්වලට මෙකී ගුණ ආරෝපණය නොවන්නේ ද?


එහෙත් මීළඟට පෙම්වතිය අසන ප්‍රශ්නයෙන් එකී පැතුම් නැග ආ සැණින් ම බිඳ හැළෙන ආකාරය ප්‍රකට වෙයි. ඒ පුර පස සඳ දියවක සඳ බවට පෙරළී දිය වී ගොසින් තරු ඇස අසල රැඳේ. තරුවෙහිත් එහිත් දැන් වැඩි වෙනසක් නැත.

මෙලෙස එකතු වීමේ පැතුම් නැගී නැගී විත් යළි යළිත් බිඳ හැළෙන බව සැබවි. එහෙත් ඒ පැතුම් යළි යළිත් නැග ඒම එයින් වැළකේද? ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ සමාජයෙන් එල්ල වන ගැරහුම් නමැති රළ දහරින් සෝදා හළ නො හැකිම ය.

මේ උභතෝකෝටිකයට විසඳුම කවරේ ද? එය පහත සඳහනි.

‘‘කඩඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නලියන නල සේම”

එහෙත් ඒ අත වැනීම නලියන නල වැන්න. නල නලියයි. හමා එයි. ආපසු හමා යයි. එක තැනෙක නො රැඳෙයි. පෙම්වතුන්ගේ එක්වීමේ අභිලාෂය ඇති ව නැති වන අයුරු හැඟවීමට මෙය කොතරම් අපූරු උපමාවක් ද?

මෙලෙස නැඟ ගොස් බැස යන පෙම්වතුන්ගේ පැතුම් සමඟ ගමන් කරන රසිකයා ඔවුන්ට උදා වී ඇති දුර්දශාව අරබයා කම්පිත ළයින් යුතු වෙයි.  



සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණා ම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව

දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේ ද පුර පස වී සඳපාන

ඒ හඳ ඇයි ද දියවක වී මුළු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව

කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වන පන් නලියන නළ සේම........


ගේය පද - නිලාර් එන් කාසිම්

හඬ මුසුව - අසංක ප්‍රියමන්ත පීරිස්, මාලනී බුලත්සිංහල

තනු නිමැවුම - සමන්ත පෙරේරා

මහාචාර්ය සුචරිත ගම්ලත්

නිලාර් එන් කාසිම්

සමන්ත පෙරේරා


අසංග ප්‍රියමන්ත පීරිස්

මාලනී බුලත්සිංහල

Monday, April 25, 2016

තීර්ථය - වින්දනාත්මක ගී සැඳෑව



සමාජ පරිහානියේ බිහිසුණු බව, දුක්ඛදායක බව, රළු කටුක බව අපි නිරන්තරයෙන් අත්දකිමින් සිටිමු. දින දින අසන්නට දකින්නට ලැබෙන්නේ මනුෂ්‍යත්වය සිඳී ගොස් නොමිනිස්කම් රජයන බවට සාක්ෂ්‍ය සපයන සමාජ සංසිද්ධීන් ය. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් ආදී අපරාධ ජනමාධ්‍යයන්හි රස මසවුළු ය. ප්‍රේමයෙන් පරාජය වූ තැන මිනීමැරුමකි. නැත්නම් සියදිවි හානි කරගැනීමකි. විද්‍යුත් මාධ්‍ය ද, සමාජ ජාල ද, මුද්‍රිත මාධ්‍ය ද මේ පිළිබඳව වාර්තා කරනුයේ මහත් ජුගුප්සාජනක අයුරිනි. මෙවන් පසුබිමක මනුෂ්‍යත්වය පුබුදුවාලන සමාජ රටාවක් ස්ථාපිත වනු ඇතැයි කෙලෙස නම් සිතිය හැකිද?


අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම යෙහෙකි ය. සුභාවිත සාහිත කලා ඇසුර කෙමෙන් කෙමෙන් අප සමාජයෙන් දුරස් වීම ද මෙම සමාජ පරිහානියට හේතු වී යැයි අපි සිතමු. සුභාවිත කලාවෙන් ශික්ෂණය නොලද මිනිසා බොහෝ විට සමාජ කාරණා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වනුයේ අතිශය ප්‍රචණ්ඩකාරීව ය. ඒකමාණිකව ය.

එහෙයින් මේ අවිඳු අඳුරට එරෙහිව කලා පහනක් දැල්වීම අපගේ අරමුණයි. ඒ සඳහා අප තෝරා ගත් මඟ සුභාවිත ගීතය යි. සංගීතය යි. මිනිසා ස්වභාවයෙන්ම සංගීතයට, තාලයට, ශබ්ද මාධුර්යයට දක්වන නැඹුරුතාව සැලකිල්ලට ගෙන යෞවනය, තාරුණ්‍යය ආමන්ත්‍රණය කිරීමට පහසුම මාවත ලෙස අපි සංගීතය තෝරා ගනිමු. 

මෙම යහඅරමුණ පෙරදැරිව සුභාවිත ගී රස වින්දන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු. එම සුභාවිත ගී පෙළහර ‘‘තීර්ථය” ලෙසින් නාමකරණය වනු ඇත. තීර්ථය යනු භාව යාත්‍රා නැංගුරම්ලන තොටුපළයි. හුදු වින්දනීය අත්දැකීමකින් ඔබ සප්තස්වරයෙන්, මධුර භාෂිතයෙන් පැහැසර වූ හරිත දනව්වකට එතෙර කරලන තොටුපළ යි.

තීර්ථය වැඩසටහන ඉදිරිපත් වන්නේ ප්‍රවීණ ගායක ගායිකාවන්, නව පරපුරෙහි කුසලතා පිරි ගායක ගායිකාවන් සහ ගීත රචකයින්, ප්‍රවීණ වාදක මණ්ඩලයක් සමග ඉදිරිපත් කරන ගීත රසවින්දන වැඩසටහන් මාලාවක් ලෙසිනි. වැඩිහිටි පරපුර සහ තරුණ පරපුර අතර රස වින්දනාත්මක පරතරය පියවනු පිණිස ම තීර්ථය ගී සැඳෑව පැවැත්වෙනුයේ ජ්‍යෙෂ්ඨ පරපුරේ ගායක ගායිකා දෙපළක් සහ නව පරපුරේ ගායක ගායිකා දෙපළක් සමඟිනි. ගැයෙන්නේ සුභාවිත ගීත සමුච්චයකි.

එය සාම්ප්‍රදායික සංගීත ආකෘතියෙන් මිදී නව්‍යමය වූ මං පෙත් ඔස්සේ ගී රස වින්දනයට කතිකාවතක් අරඹනු ඇත. මෙහි පළමු අදියර ගීත රචකයින් දසදෙනෙකු සමඟ රසවින්දනාත්මක වැඩසටහන් දහයක් ඉදිරිපත් කිරීමයි. 

ප්‍රබුද්ධ ගීත රචකයකු සමඟ ඔහු විසින් රචිත ගීත විස්සක පමණ වින්දනාත්මක සැඳෑවක් ලෙස වැඩසටහන් ආකෘතිය සකස් වී ඇත. එම ගීත නිර්මාණය වූ පසුබිම, එහි අරුත, සුවිශේෂිතා සහ එය ජීවිතය සමඟ බද්ධවන ආකාරය පිළිබඳව පිළිසඳරක යෙදෙමින් ගීත රස විඳීමට සහභාගි වන ප්‍රේක්ෂක සැමට අවස්ථාව සැලසේ. ගීත තෝරාගෙන රස විඳීමට අවශ්‍ය මඟපෙන්වීම වත්මන් තරුණ පරපුරට ලබා දීම මේ සංවාදයෙන් සිදුවනු ඇතැයි අපේක්ෂිත ය. ගීතයේ පද මාලාව, සංගීතය සහ ගායනය ඉක්මවා ගිය සියුම් තැන් රසවින්දනයටද මග හසර එළිකර දීම අපගේ අරමුණු අතර වේ.

පළමු අදියරෙහි වැඩසටහන් සඳහා සහභාගි වන ගීත රචකයින් අතර කුමාරදාස සපුතන්ත්‍රී, රත්න ශ්‍රී විජේසිංහ, මහාචාර්ය සුනිල් ආරියත්න, බන්දුල නානායක්කාරවසම්, සුනිල් සරත් පෙරේරා, ලූෂන් බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, නිලාර් එන්. කාසිම්, වසන්ත කුමාර කොබවක ආදීහු වෙති. ඔවුන්ගේ පන්හිඳෙන් හැඩවුණු ජනප්‍රිය ගීත ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ, ටී.එම්. ජයරත්න, අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ආදී ප්‍රවීණ ගායක ගායිකාවන් ය. නව පරපුර නියෝජනය කරමින් දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී, අමල් පෙරේරා, සමන් ලෙනින් ආදී ශිල්පීන් සහභාගි වීමට නියමිත ය.

මෙම වැඩසටහන් සියල්ලේම සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතඥ නාලක අංජන කුමාර විසිනි. පිටපත හා නිවේදන කටයුතු ප්‍රවීණ ගීත රචක, නිවේදක නිලාර් එන්. කාසිම් විසින් සිදුකරයි.

මින් පළමු අදියරේ පළමු වැඩසටහන දැනටමත් සැලසුම් කර ඇති අතර ඒ සඳහා ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී සහභාගි වේ. ගීත ගායනා සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී විසිනි.



ප්‍රවීන ගීත රචකයකු සමග තෙමසකට වරක් තීර්ථය දියත් වෙනු ඇත.

එන්න.......... ගීතය ගැන, ජීවිතය ගැන අලුතින් හිතන්නට හිතට ඉඩ දෙමු. 

අරුත් සපිරි සුමධුර පද සරණියත්, සියුම් සප්තස්වර නාදයත් සමඟ ආත්මීයව බද්ධ වන ගී හඬක දැහැන් ගත වෙමු. 

එන්න.......... බසක මිහිර හා මුසු වුණ සප්තස්වර අසිරියක පෙළහර සමඟ චමත්කාරජනක හෝරා තුනක් සජීවී හෘද සංවාදයක යෙදෙන්න මේ ආදරණීය ඇරයුමයි. 

තොරතුරු සඳහා පිවිසෙන්න.

www.theerthaya.com
  
 


Sunday, April 17, 2016

බිසරු ලියන් මැද මදන තෙදින් යුතු මානණිය

බන්දුල නානායක්කාරවසම්ගේ ගී පද රචනයෙන්ද නවරත්න ගමගේගේ සංගීතයෙන් ද සමන් ජයනාත් ජිනදාසගේ ගායනයෙන්ද හැඩවී ඇති මෙම ගීතය සිංහල ගීත අතර විරල, ශෘංගාර රසය දනවන විශිෂ්ට නිර්මාණයකි.


Francis Gabriel Lepaulle (French, 1804-1886) – The Pasha and his Harem
අල්පයක් වූ ශෘංගාර රස ජනනය කරන සිංහල ගීත අතරින්ද මෙම ගීතය සුවිශේෂී ය. ශෘංගාර රසය දනවන සිංහල ගීත බොහොමයක තේමාව වන්නේ පෙම්වතුන් යුවලකගේ එක්වීම හා බැඳුනු සිදුවීම් ය. එහෙත් බන්දුල නානායක්කාරවසම් මෙම ගීතයට තේමා කොට ඇත්තේ අබිසරුලියන් රැසක් මැද සිටින හද සසල කරන තරමේ රුවැති තවත් අබිසරුලියක් පිළිබඳ පුද්ගලයෙකුගේ සිත්හි ඇතිවන ශෘංගාරජනක හැඟීම් ය. මෙවැනි තේමාවක් සිංහල ගීතයකට වෙනත් කිසිදු විටෙක විෂය වී ඇත්දෝයි සැක සහිතය.


බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත
සසල කරයි හද මානණියේ..
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ
බඳිනු තදින් හිත දේහිනියේ.

අබිසරුලියන් මැද සිටින සුරූපිනිය හද සසල කරයි. ඇය ආඩම්බරකාරියකි. කාම තේජසින් සූර්යයා සේ බබලයි. සිත ඇය වෙතම බඳවා තබා ගනියි.


රතදර පියුමෙහි රොන්සුණු වැගිරෙත, කෙලෙසද හැඟුමන් මැඩලන්නේ
උතුරා යද්දෙන් රොන්කඳ මදු යානේ, හිමකර සෙවනේ එක හීනේ
නුඹ සතපමිනාවා අමරති රණ ලෝලේ.....

ශෘංගාරය උතුරා යන මෙම සර්ගය කව් සිළුමිණෙහි මදුපානෝත්සවය සිහි ගන්වයි. රචකයා තොල් ආලේපන සම කරනුයේ දෙතොල් නම් පියුමෙහි රොන් වැගිරෙන ලෙසය. ඔහුගේ සිහිනය, පුන්සඳ සෙවනේ ඇය හා රති කෙලියේ යේදීම යි. එය සියුම් මනෝභාවයන් සන්තෘෂ්ඨ කරවන සෞම්‍ය ලිංගික සුවයක් නොව, රණ කෙළියක් සේ  ප්‍රචණ්ඩ ක්‍රියාවලියකි.


විපුලිත ලැම රණ හංසතුඩට කිම, දුහුල් සළුව හිරිහැර දෙන්නේ
වියැකී යද්දෙන් සළුපට වාගේ, මගේ සරාගී සෝතාපා..
නුඹ රන්බඳ මා හා  සයනිත රෑ යාමේ.....

කාමයෙන් උද්දීපනය වූ පියයුරු තුඩට දුහුල් සළුව හිරිහැරයක් යැයි රචකයා කියයි. කෙතරම් අලංකාරවත් යෙදුමක් ද? එම සළුපට වියැකී යනු ලෙසම තමන්ගේ කාමාග්නිය නම්වූ සෝ තැවුල් නිවී යනු ඇතැයි යන්න කථකයාගේ අපේක්ෂාවයි.

සංගීතයෙන්ද ගායනයෙන් ද පදමාලාවට සාධාරණත්වයක් ඉටුවී ඇත. නර්තනය, වින්දනය සහ උත්සව තේමා කරගත් සංගීතයක් ගීතයේ ආත්මය හා බැඳී ඇත. ඒ ඉපැරණි මධුපානෝත්සව හා සබැඳුණු සාම්ප්‍රදායික සංගීතයේ එළිය ලබා ඇත. නවරත්න ගමගේගේ සංගීතය තුළ භූපාලි රාගයේ සේයාවන් දක්නට ලැබේදෝ යි ද සිතෙයි.
සමන් ජයනාත් ජිනදාස ඔහුට ම අනන්‍යවූ හඬ පෞර්ෂයක් විදහා දක්වන ගායකයෙකි. ඔහුගේ හඬ ශාස්ත්‍රීය සංගීතය හා මුසු වන්නේ නිරායාසයෙනි. මෙම ගීතයේද ඔහු පදමාලාව ඉල්ලා සිටින ඒ සාම්ප්‍රදායික ස්වර ගයයි.

බන්දුල නානායක්කාරවසම් ගීතයට යොදාගෙන ඇති තේමාව තරමක් විවාද සම්පන්නය. සුචරිතවාදීන් සිංහල හර පද්ධතියට අනුකූල නොවන බවට මතවාද ඉදිරිපත් කිරීමට ඉඩ ඇත. සාම්ප්‍රදායික සම්භාව්‍ය සිංහල භාෂාවක් යොදා ගැනීම නිසාදෝ ගීතය එවැන්නන්ගේ අවධානයෙන් ගිලිහී ඇත. එහෙත් කුහක වික්ටෝරියානු බෞද්ධ සදාචාරයෙන් "හික්මීමට" පෙර අප නිදහස්කාමී ජනතාවක් වූ බව මෙම ගීයද අපට සිහි ගන්වයි.



පද රචනය  : බන්දුල නානායක්කාරවසම්
ගායනය     : සමන් ජයනාත් ජිනදාස
සංගීතය     : නවරත්න ගමගේ

Monday, April 11, 2016

නාඬන් පුංචි හිරමණේ


නාඬන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසන්තේ
මේ රූණු කරේ පොල්වතු බෝමා
මට පාඩගම් පබළු අරගෙන
පොල් මල් පිපිලා - දොරකඩ
අර බලපල්ලා....


රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ ‘‘මල් අහුර‘‘ රසාස්වාදන කෘතියට අනුව මේ විදියට පුංචි හිරමණයට කතා කරන්නෙ රංචාගොඩ ළමයා. රංචාගොඩ ඉපදුණු ඈ දීග ගිහින් තිබුණෙ රුහුණු රටට. ඒ වැඩි කළඑලියක් නැති ගම ගෙදරකට වෙන්න ඕන. හිරමණයටත් වැඩ අඩුවෙන්න ඇත්තෙ ඒ නිසයි. රංචාගොඩ කවිකාරි හිරමණයට කියනවා  ඉතින් නාඬන්න පුංචි හිරමණය, ඔන්න වසන්තය ඇවිදින්. වසන්ත මංගල්ලෙට කරන්න ඔයාටත් හරි හරියට වැඩ තියේවි කියල.

රූණුකරේ පොල්වතුවල පොල් මල් පිපිලා තියෙන්නෙ හරියට වසන්තයට තෑගි අරන් ඇවිදින් වගේ... කරට පබළු වැල්, පයට පාදජාලා නැති අඩුව රංචාගොඩ ළමයට දැනෙන්නෙ නැහැ... වසන්තයට සැරසෙන ගහකොල වගේ ඇයත් සතුටින් පිරිලා... ජීවිතයේ කටුක බව අමතක කරල ඇය සුබවාදීව ජීවිතේ බාර අරන්....


දොංත දොං රබන් පදයට
පංචි කිරිකවඩි හිනැහෙන
දවස ඇවිල්ලා
කහට පොතු කකා හම යන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා.....

ගම්දොර කොයි තරම් අමාරුකම් තිබුණත් අවුරුද්ද කියන්නෙ ඒ හැමදෙයක්ම අමතක කරලා සතුට පිරිවරාගන්න සමය... අලුත් අවුරුද්දට පංචි, කිරි කවඩිත් හිනැහෙනවා.. මේ අවුරුදු කෙළි සෙල්ලම් අද අපට ආගන්තුක වුණත් අද වගේ අන්තර්ජාල, ටීවී, දුරකථන නොතිබුණු කාලෙක සතුට බෙදන්න මේ ජන ක්‍රීඩාවන් කොයිතරම් මෙහෙයක් කරන්නට ඇත්ද?

බුලත් විටට අඩුවැඩිය යහමින් ඕන. ඒ වෙනුවෙන් මිලක් ගෙවන්න අසීරු වුණාම විකල්පයක් වුණේ කහට පොතු.. කහට පොතුවලින් හම ගිය කටින් වාරමක් කියන්නත් හැබෑ සතුටක් හිතේ ඉහිරෙන්න ඕන. රංචාගොඩ ළමයා වගේ කවිකාරියක් ඉන්න තැනක ඒ සන්තෝෂය පිරී ඉතිරෙන බවට විවාදයක් නෑ...  

කොන්ද කොඳ කැකුළු කදිරන්
පුංචි ඉණට සේල අරන්
එයි ද කොබෙයියෝ
රංචාගොඩ කවි සීපද
කන්දීලා මල් යහනට
වඩින්න දෙයියෝ....

අවුරුද්දෙ වැඩිම සතුට තියෙන්නෙ දරුවන්ට. දරුවන්ගෙ සතුට තමයි දෙමව්පියන්ගෙත් අවුරුද්ද. පුංචි පැංචන්ට සේල අරන් එන්නෙ කොබෙයියන්ද? කොබෙයියා කියන්නෙ කලබලයක් නැති හරිම අහිංසක සතෙක්. කොබෙයියා ළඟ වෛවර්ණ සළු පිළි නම් නැති බව ඇත්ත. රංචාගොඩ කවි සීපද අහල මල් යහනට දෙවියන්ට වඩින්න කියන්නෙ මේ හැම සුබ ප්‍රාර්ථනාවක්ම ඉටුවෙන්න ආශිර්වාදය අරන් වෙන්න ඕන...

රංචාගොඩ ළමයට වසන්තය උදාවෙන්නෙ ගම්දොර හැමටම සතුටින් ඉන්න හැකි වුණොත් විතරයි... ගීතයෙන් කියවෙන්නෙ ඒ වෙනුවෙන් ඇගේ හිතේ ගොනුවෙන පැතුම් සම්භාරය ගැන කියලයි මට හිතෙන්නේ.

හඬ මුසු කළේ ප්‍රදීපා ධර්මදාස
රත්න ශ්‍රී විජේසිංහයනගේ පද සරණිය
සප්ත ස්වර දැහැන සරත් දසනායක...



බක් මාසයේ වසන්ත මංගල්‍යය ගැන ගම්දොර ගෙවුණු ළපටි වියේ මතක සැමරුම් නම් එමටයි.. අවුරුද්දට මල්, මල් චීත්ත ගවුමක් ලැබුණ හැටි, ඔන්චිල්ලා පැද්ද හැටි, උණ බම්බු කාල තුවක්කු, කොහු කිරිල්ල බට තුවක්කු, කැවුම් කොකිස් සුවඳ උතුරන වට්ටි පෙට්ටි වෙන වෙනම කැවිලි පුරවන් බලන් උන්නු හැටි... අඹමල්, කජු මල් මියුරු ඵල බවට පත්වෙමින් රස නහර පිනවූ හැටි, අවුරුදු කෑම මේසෙ විශේෂ කළ අමු කජු මාළුව... මේ සියල්ලම සුන්දර මතක. අතීතයට අයිති..

කැට පොලේ වෙන රණ්ඩුවක්, අවුරුදු සරු වෙලා බීමතින් වැනි වැනී ගීයක් ගයමින් යන රුවක්, අළුත් ඇඳුමක් -කැවිලි පෙවිලි- රතිඤ්ඤා -නිලා -බඹර චක්කර අහිමිව දුකෙන් මැලවුණු සිඟිති මූණක්.... මේ සියල්ලත් අවුරුදු මතකයට ඇතුළත්...


අද ඒ අවුරුද්ද නැහැ.. පුරුද්දට කරන චාරිත්‍ර වලට සීමාවෙලා... අපේ ජීවිත කොයිතරම් යාන්ත්‍රික වෙලාද කියනව නම් අද රංචා ගොඩ ළමය උන්න නම් එයාට වුණත් කයි සීපද අමතක වේවි... 

Thursday, April 7, 2016

ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා....


එදා අපි උන්නෙ ඉමක් නිමක් නැති ගමනක... ඔයාට මතකද? ඉසව්වක් ගැන නිනව්වක් නැතිව සුක්කානම හැරවුණු අත ඔහේ ඇදී ගිය ඒ සුන්දර දවස් ආයෙ කිසිම දවසක හමුනොවනු ඇත්ද? අපේ ආදරයේ ලස්සනම දවස්වල මතක දිගෑරෙන හැම මොහොතකම ඒ හැම හුස්මක් ගාණෙම වික්ටර් රත්නායකයන්ගෙ ගී හඬත් ඇහෙන්නට ගනීවි... මට විශ්වාසයි ඔයාටත් එහෙම ම වේවි...

එදා ඒ ගීතය මුල් ම වරට සවන ගැටෙද්දි මුලින්ම මං තිගැස්සුණේ ඇතුළතින්... වැඩියක්ම එහෙම වුණේ ‘‘එක වහළක් යට එකට දකින්නට‘‘ වචන ටික හීන් සීරුවෙ හිතට ඇතුළ් වෙලා තුන් හිතම කොනිත්තන්න ගත්තම. හුරු හඬින් ගලා ආ නුහුරු වදන් පෙළ හිත පත්ළෙම ලැගුම් ගත්තා. මගේ කතා පෙට්ටියට අගුළු වැටුණා... මං ගීතයේ දැහැන්ගත උණා. ඔයත් එහෙම ම වෙන්න ඇති. අපි දෙදෙනාම නිශ්චලත්වයක ගිලී ගියා. කතා කළේ ගී හඬත්, ස්වර නදත් පමණයි.

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කල පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමු වේවා...


හඳ එළිය දෝරෙ ගලන රැයක ඔය හුස්ම වැටෙන මානෙක ඉන්නට තිබුණා නම් හඳටත් ඉරිසියා හිතෙන තරමට ආදරය පිටාර ගලන බව නිසැකයි. ඒත් එකම හඳ එක වහළක් යට විතරක් නෙවි, එකම අහසක් යට එක ළඟින් ඉඳන්වත් දකින්න පින් නැති දෙදෙනෙක් අපි... තවත් ආත්මභවයක් ගැන පැතුම් පතන්නෙ කොහොමද? මේ පමා වූ හමුවීම පවා අප්‍රමාණ රිදුමක් වූ විට... 

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පැතුම් පෙල දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක් වී
මා ජීවත් කර සතුට ගෙනා වූ
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා....


ආදරය ගැන දුටු දහසක් සිහින බොඳ වී, යළි පෙමක නොපැටලෙන්නෙමැයි ප්‍රතිඥා දී තිබූ හුදකලා ජීවිතයට අලුතින් එක් වූ ඔබ මා ජීවත් කරවන්නට සතුට ගෙනා හැටි කෙලෙස නම් අමතක කරන්නද? 

හීන දකින්නෙ මං වුණාට ඒ හීන මටත් වඩා අරපරිස්සමට මතකයේ තැන්පත් කරල තියාගන්නෙ ඔයා... හීනවලම ජීවත් වෙනවා කිය කියා ඇනුම් බැනුම් කෝටියක් දිගාරින අතරම, ඒ හීන හැබෑ කරල දෙන්නෙ කොහොමද කියල හීන දකින්නෙත් ඔයා... ඒ ඔයාගෙ විදිය... වික්ටර්ගෙ හඬට, ඒ අපූර්ව ගී ගඟුලට මගේ ඇල්ම කොතරම් ද? මගේ ඇල්ම ඔබේ බැල්මට හමුවීම කොතරම් අපූරුද!!!! හමුවන හැම මොහොතකම ඒ ගී හඬ අප අතරින් ගලා ගියා, හරියට දෙව්දූත ගීතිකාවන් වගේ... ඒ ඔයා ආදරය පෙන්වන එක විදියක්... 

ගීතය නිමවෙද්දි මගේ ඇස් තෙත් වෙලා.. 

‘‘ආයෙම වතාවක් ඒ සින්දුව දාන්න..“

මම එලෙස පැවසුවේ ඒ සියුම් වේදනාවේ, ශෝකාලාපයේ යළි යළිත් ගිලී යන්නට ඇති කැමැත්තෙන්.

‘‘ඇහුවට කමක් නෑ.. හිත රිද්දගන්න එපා..“ නැවතත් එකී ගීතයම හිස් අවකාශයට මුදාහරිමින් ඔබ කිව්වා. එතරම්ම මගේ හිත කියවන ඔබ ම මා රිදවන තරම්...

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කළ
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා...


‘‘ඒ ටික මෙහෙමයි කියන්න ඕන.. ‘බොළඳ මගේ හිත ඔබට සුදුසු නැත‘ කියල...‘‘ මම සිනාසුණා මතකයි. 

සත්‍යයත් එයමයි... මේ බොළඳ හිත නිසා ඔබ අවුල් වෙන තරම්!!! මා විඳවන තරම්!!! ඒ අවුල් වියවුල් නිසා අපේ ආදරේ කැළැල් වේවි කියන බයටයි මං ඔයාට කියන්නේ.. මාව අමතක කරන්න, ඔයාට ගැළපෙන කෙනෙකුට ආදරය කරන්න කියල. ඇත්තටම එහෙම ඔයාට යන්න දෙන්න හිත හදාගෙන නම් නෙවෙයි..

‘‘මං හිතුවෙ ඒක කියන්නෙ මගේ පැත්තෙන් කියල.. ‘කිලිටි මගේ අත ඔබට සුදුසු නැත.“

ඔබ පිළිවදන් දෙන්නෙ කල්පනාබරව...

ඔබේ ගෙටත් උඩ, මගේ ගෙටත් උඩ කැලුම් දිදුළුවන සරත් සඳ දකින හැම මොහොතකම දෙතැනක උන්නත් අපට අපේ හිත් එකම රිද්මයකට ගැහෙන වග සිහිපත් වේවි. එකම වහළ යට එකට හිඳින්නට පින් නැති වුණත් එකම අහස යට හමු වූ ඒ පුංචි නිමේෂයන් ජීවිතයට අස්වැසිල්ලක් ගෙනා වග සඳ සිසිල මැද හැමදාම මා සිහිපත් කරන්නම්... 

පද මුසුව                 - ප්‍රේමකීර්ති ද අල්විස්
ස්වර සහ හඬ මුසුව - වික්ටර් රත්නායක


සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ





සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවී ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා, අපි ආදරෙන් ඉන්නවා.

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
අහසින් පියාසරන ආදරේ හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා, අපි ආදරෙන් ඉන්නවා.

ගායනය - අමරා රණතුංග
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - දයාරත්න රණතුංග


අපි උදාන ගී අසා ඇත්තෙමු. සම්භාව්‍ය සාහිත්‍යයේ ද උදාන ගී විරල නැත. අමරා රණතුංග ගයන " සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ " සිංහල ගීත සාහිත්‍යයේ එන සුන්දර උදාන ගීයකි. පෙම්වතියකගේ උදාන ගීයකි.

පෙම්වතිය තමාට පෙම්වතෙකු සිටින බව පවසන්නේ සැළලිහිණියාටය. අප පිලිබඳ සතුටුදායක ආරංචියක් තවත් කෙනෙකුට පැවසීමේ නොතිත් ආශාවෙන් අපි සැවොම නොපෙලෙන්නෝ නොවෙමු ද? පෙම්වතිය සැළලිහිණියා හා සංවාදයෙන් සපුරා ගන්නේ ඒ සාමාජයීය අවශ්‍යතාවයි.එපමණක් නොව, සැළලිහිණියාට නොමැති යමක් තමන්ට ඇති බවද කියා උදම් අනයි.

පෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවී ඉන්නෙ නෑ


කිරිල්ලියකට කූඩුවෙන් මිදී යන්නට ආදරය මූලික කරුණක් වන බව ගීත රචකයා පවසන්නේ කෙතරම් සරලවද ? මේ පවසන්නේ මානව වර්ගයාගේ පැවැත්ම පිණිස ඇවැසිවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක ඇරඹුම නොවේද?

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්//
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා, අපි ආදරෙන් ඉන්නවා.


" මේ ඔයා දන්නවද මට එක්කෙනෙක් ඉන්නවනේ. අනේ හැබැයි කාටවත් කියන්න එපා. මං ඔයාට විතරමයි කිව්වේ" තම හොඳ ම යෙහෙලියගේ උරහිසේ එල්ලී, විලියෙන් මුහුණ රතු කරගෙන, පෙම්වත් කෝල හිනාවකින් මේ ආරංචිය කියනා තරුණියකගේ චිත්ත රූපයක් අප හමුවේ මැවෙයි.

තරුණිය සැළලිහිනියාට ඊළඟට පවසන්නේ ඊටත් වඩා රහසකි.

අහසින් පියාසරන ආදරේ හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා, අපි ආදරෙන් ඉන්නවා


මේ ඉඟි කරන්නේ දෙදෙනා ආදරයේ ඵල නෙලන බව නොවේ ද? ප්‍රේමයෙන් බැඳී " කූඩු" නම් සීමාවලින් මිදී ආදරයේ සුව විඳිනා පෙම්වතුනට වඩා සුන්දරත්වයක් ලොව වෙන කොහේද ඇත්තේ?

අමරා රණතුංගගේ සරල ගැමි හඬ හැර වෙනත් හඬක් මේ ගීයට ගැලැපේදැයි සැක සහිතය. දයාරත්න රණතුංගගේ සංගීතයද වදන් පෙලට ඉටු කර ඇත්තේ එවන්ම වූ සාධාරණයකි. එස්.එම්.එස්, වයිබර් සහ මුහුණුපොත හරහා බැඳෙන පෙම් සබඳතා ඇති යුගයක පවා මෙවන් ගීත යලි යලිත් අප හදෙහි නින්නාද නංවන්නේ වදන් පෙල, සංගීතය සහ ගායනය සුභාවිත වූ සඳ ගීයක් සදාතනික බව තහවුරු කරමිනි.


- පහන්





Wednesday, April 6, 2016

මට අරු‍මෝසම් හුරු නෑ අම්මේ


By Artist Hiroko Reaney

සඳගිරි පව්ව උසයි... කිඳුරා හරිම වසයි
මං ගෙදර එන්න ආවා අම්මේ
දොර අරින්න නුඹ විතරයි ඉන්නේ...

රත්තරන් කියා කඩුතුඩ මං ඇණ ගත්තේ පපුවට
නුඹ එපා කියද්දීමයි අම්මේ
ඒ කුල ගෙය දැන් ගිනිගෙය වැන්නේ...

සල්පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිර
මට අරු‍මෝසම් හුරු නෑ අම්මේ
නිය පහුරු වැදුණු හිත බලපන්නේ....

ගායනය :- විශාරද ශානිකා සුමනසේකර
පද රචනය :- රවී සිරිවර්ධන
තනු නිර්මාණය :- දර්ශන වික්‍රමතුංග

චන්ද කින්නර ජාතකේ වගේ සුන්දර ආදර කතාවක් ගැන හීන දකින ඇයට හමුවෙන්නෙ නපුරු සඳකිඳුරෙක්. ඒ සඳගිරි පව්ව ඇයට ළං වෙන්න බැරි තරමට උසයි. කාසිවලට රඟන සඳකිඳුරියන් එමටයි එහි. ඒ අරුමෝසම් ජීවිතේ ඇයට දරා ගන්න බැහැ. ඒත් දරු සෙනෙහසට ජීවිතයම කැප කළ අම්මා කියු දේත් අහන්නෙ නැතිවයි ඇය මේ සඳකිඳුරත් එක්ක දිගු ජීවිත ගමන යන්න එකතු වෙන්න. ඒ ආදරය නිසාම වෙන්න ඇති...

ඈ පැතූ කුල ගෙය දැන් ගිනි ගෙයක් වී ඈ දවාලනවා. ජීවිතයෙන් ඇය විඩාපත්. තවදුරටත් ඇයට දුෂ්කර ක්‍රියා කළ නොහැකියි. ඇය පැතු සිහින ලොව දෙදරා ගිහින්. ඇය තීරණය කරනවා ආපහු හැරෙන්න. නිය පහුරින් තුවාල වුණු හිතත් අරන් ඇය ආපහු එන්නෙ අම්ම ළඟට. ඇයට දොර විවර වෙන්නෙ අම්මගෙ නිවහනේ විතරයි... අම්මගෙ හදවතේ විතරයි... විශ්වාසය, බලාපොරොත්තුව අරන් ඇය එන්නෙ ඇගේ සෙනෙහසේ නවාතැනට...

වරදින තැන් ජීවිතේ අපමණයි... ඒ වැරදීම්වලින් ගොඩ එන එක, හරි පාරට වැටෙන එක හරිම දුෂ්කරයි. වරද්ද ගන්න එපා කියන්න ලේසියි. නමුත් වැරදීම් මග හැර ඉන්න අමාරුයි ජීවිතේ. වැරදුණ බව දැන දැනම එහිම ඇලී ගැලී ඉන්නවට වඩා ආපසු හැරෙන්න, වැරදි හදා ගන්න, ජීවිතේ අළුත් කර ගන්න තීරණයක් ගැනීම අගෙයි. ජීවිතයට ආදරෙයි නම් ආපහු හැරෙන්න, වැරදීම් හදා ගන්න, අළුත් ගමනක් පටන් ගන්න සිදු වෙනවමයි නේද? එය කළ යුතුමයි.


මේ පාළු සීත රාත්‍රියේ



මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා ....


සංගීතය පිළිබඳ මා අසා ඇති හොඳ ම නිර්වචනයක් වන්නේ ‘‘ශ්‍රවණය කළ හැකි හැඟීම්" යන්න ය. අප රස විඳින බොහෝ ගීත එම වකවානුවේ හෝ එම මොහොතේ රස විඳින්නේ අප සිත් තුළ ඇති හැඟීම් සමුදායට අනුකූල වීම නිසාය. අපගේ ප්‍රියතම ගීත අතර එක් එක් මනෝභාවයන්ට උචිත ගීත කිහිපයක් ම තිබීම අරුමයක් නොවේ.

මෙවන් පිවිසුමකින් මෙම සටහන ඇරඹුණද එහි අරමුණ නව ගීතයක් පිළිබඳව විචාරයක් ලිවීම නොවේ. බොහෝ කලක සිට අප ශ්‍රවණයට නැගෙන චන්ද්‍රලේඛා පෙරේරාගේ " මේ පාළු සීත රාත්‍රියේ ගීතය පිළිබඳ මගේ හැඟීම් විවරණය කිරීම ය. ප්‍රියානන්ද විජේසුන්දරගේ පද රචනයක් වන මෙම ගීතය මුල් වරට අසන්නට ලැබුනේ 1980 දශකයේ බව මගේ මතකයයි.

හැඟුමන් ගායනය ගීතයකදී එහි අර්ථය අසන්නා වෙත සම්ප්‍රේෂණය කිරීමේ උචිතම මාර්ගය යි. සංගීතයෙන් අදාල හැඟුම ප්‍රකාශයට පත් කළ හැකි වුවත් ගීතයක් හරහා හැඟීම් සංනිවේදනයේදී මිනිස් කටහඬ සංගීතය තරම්ම ප්‍රබල වේ.

මෙම ගීතය සිහිලැල් රාත්‍රියක හුදකලාවම ප්‍රේමය වෙනුවෙන් අපේක්ෂා සහගතව බලා සිටිනා පෙම්වතියකගේ හැඟීම් විදාරණය කරන්නකි. ප්‍රේමය සහ අනුරාගය මුසුවූ හැඟීමකින් ඇය පෙළෙයි. මුළු ගීතය ම ඇයගේ අනුරාගයේත් විප්‍රයෝගයේත් ප්‍රකාශනයකි. චන්ද්‍රලේ්ඛාගේ ගැයුම සප්ත ස්වර හා මුසු වන විට එම ප්‍රේමාන්විත හැඟීම් පියාපත් ලැබ විසල් අහසට ඉගිලෙන්නාක් මෙනි.

"මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා"


"පාළු" සහ "සීත" යන වදන් යුග්මය උච්චාරණය කරනුයේ අසන්නාගේ ගතට ඒ හැඟීම් දැනවෙන ආකාරයට ය. ඒ හැඟීම් මැද සිත ඉන් මිදවිය හැකි හොඳ ම හැඟීම ප්‍රේමය ම නොවේ ද? "ප්‍රේමය" යන වදන ගයන්නේත් එම සිතුවිල්ලම උත්කර්ෂවත් වන ආකාරයකට ය.

"නිදිමත තරුකැට කඩා වැටේ
ඉඩදී අඳුරට අහස්තලේ
සඳ මල මිලිනව බලා හිදී
දකින තුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා"


තරුකැට ද, සඳ ද අඳුරට ඉඩදී බලා සිටින්නේ මේ යුවලගේ අඩ නුවන් දැක ගැනීමටයි. ඇය බලා සිටිනුයේ ඔහු ඇයගේ ළය මඬල මත ඔහුගේ මුහුණ හොවාගෙන ප්‍රේමය යනු කිමෙක්දැයි ඇයට කියාදෙන තෙක් ය. කෙතරම් ශෘංගාරාත්මක ද?

"ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින් බිඳී
පිණි කඳුලැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ලං කර රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් මෙයයි කියා"


මුළු පරිසරය ම ඉල්ලා සිටින්නේ පෙම්වතුන් දෙදෙනාගේ එක්වීමයි. ගහකොළ නිසලව හිඳී. පිණි වැටෙන්නේද කඳුලැලි මෙනි."සුසුමක් සුසුමට ලං කර ප්‍රේමය නම් මේ යැයි' කියා දෙන ලෙස පෙම්වතිය කියයි. ප්‍රේමයෙන් ආනන්දයට පත් වූ යුවලකගේ දුරස්ථ වීමේ විප්‍රයෝගය ගැන ගැයෙන මේ ගීය හෘද සංවේදී ප්‍රේමය ගීතයකට පූර්වාදර්ශයක් මෙනි.

සිය සහකරුගේ හෝ සහකාරියගේ ඇසුරින් ඈත්වී සිටිනා එහෙත් එයම පතනා පෙම්වතියකට හෝ පෙම්වතෙකුට මේ ගීය සිය මනෝභාවයන් හා කදිමට සුසර වනු ඇත. වරක් දෙවරක් නොව බොහෝ වාර ගණනක් වුව මෙම පද මාලාව මධුර හඬින් ගැයෙනු ඇසීමට ලොබ බඳිනු ඇත. මා හට සිදු වූයේද එය ම විය හැක.

සුගායනීය හඬ - චන්ද්‍රලේඛා පෙරේරා
ගේය පද - ප්‍රියානන්ද විජේසුන්දර
සප්ත ස්වර මුසුව - සමන් කුඹුකගේ



ඔබේ ආදරේ වරුසා වැහැලා

‍ෙ

‘‘අපි වැව ළඟට යමු.” මම පවසමි.

‘‘ඔයා නම් හැඟුම් පොදියක්.. ෆැන්ටසි ලෝකයක්...” ඔබ හිනැහෙයි. ගොම්මන අන්ධකාරයට ඇරයුම් කරයි. නිස්කංලක මාවතක් ඔස්සේ රිය සක ඇදී යයි. කොහේ කොතැන ගිය ද කම් නැත. ඔබ මා අසල සිටින විට කිසිදු බියක් සිතට නොනැඟේ. එසේනම් නිරන්තරයෙන් මා පෙළන අනියත බිය කුමක්ද? ඔබ මවෙතින් අසනු ඇත. නිරුත්තර වෙමි.

ආදරණීය පහන්,

මා බිය වන්නේ ඔබට නොව මට ම ය. මට ද නොව ලෝකයට ය. අප හමුවූයේ බොහෝ පමා වී ය. මෙතරම්ම හුදකලාවක මා ගිල්වා නොතබා මින් පෙර මවෙත එන්නට ඔබට නොහැකි වූයේ මන්ද?

‘‘ඔන්න ආවා...” වැව ඉස්මත්තේ රිය නවතන ඔබ මහත් සැහැල්ලුවෙන් අසුන මත හිස තැන්පත් කරගනියි. හැමදාමත් මෙන් මම ඔබේ වම් පසින් වත මත නෙත් තබමි. අවිහිංසක දසුනකි. මසිත ඇද බැඳ තබාගන්නේම ඒ අහිංසක සරල පෙනුම නොවේද?

කප්පරක් බැනුම් පොදි මා මත ගොඩගසන මොහොතක වුව පසෙකින් හිඳ මෙලෙසම ඔබ දෙස බලා සිටින්නට මම රිසි වෙමි. කඳුළු කැට දෑසින් කඩා හැලෙන මොහොතක දී වුව... සියල්ලට වඩා බලවත් ප්‍රේමයක් ඔය පපුතුර සැඟවී ඇතැයි විශ්වාස කරමින් මම නිසොල්මන්ව සිටිමි.

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ

මම ඔබ උරහිසට බර වෙමි. මද අඳුර පිරිමදිමින් හමන පවනැල්ලේ සිහිලැල්ලට මුසු වන්නේ ඔබේ සුවඳ ය. හෙමිහිට උරිස්සෙහි මුහුණ ඔබා ඒ සුවඳ මගේ ආත්මයටම උරා ගනිමි. පිරිමි පපුතුරක මෙතරම්ම සුවඳක්, උණුහුමක් වන වග මා පළමුවරට හඳුනාගත්තේ ඔබ වෙතින් යැයි පැවසුවහොත්, ඔබ විශ්වාස නොකරනු ඇතැයි සිතමි. මෙතරම්ම සෙනෙහසක් මා විඳගත්තේ පළමුවරට යැයි පැවසුවහොත්, එයද ඔබ විශ්වාස කරනු ඇත්ද? ආදරයේ මුදු සුමුදු පහසින් මගේ හදවත ළදල්ලක් සේ සසැලී යයි.

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ… කතර දෙව් ලොවක් වේ…

මම හසරක් අසමින්, කෙම්බිමක් සොයමින්‍ සරන්නියක නොවූයෙමි. මට ජීවිතයක් තිබුණි. එකී ජීවිතය පිරිපුන් යැයි මම සිතා සිටියෙමි, ඔබ හමුවන තුරුම. ගෙවූ දිවිය කතරක් වී යැයි හැඟුමක් හෝ නොවුණි. අහඹු නිමේෂයක ඔබේ දෑස මා දෑස් මත නැවතුණු දා සිට සුදු වැලි කතරක් වූ මගේ ජීවිතය උත්තරීතර රස ගංඟාවකින් නැහැ වී ස්නේහයේ මල් පූදින්නට විය.

ආදරණීය පහන්, ඔබේ සෙනෙහස වරුසාවක් ව මා දිවිය මත පතිත ව, මේ හුදකලා ශුන්‍ය කාන්තාරය මොහොතින් දෙව් ලොවක් විය. ජීවිතයම දෙව්දූත ගීතයක් විය. ප්‍රේමය මේසා අසිරිමත් ප්‍රාතිහාර්යයක් බව මා කෙලෙස නම් අදහන්නද?

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ… අමා සුවය පැතුවේ…

ඈත ඈත සීත හිමවතක කඳු ගැට අතර උපදිනා දිය කදුරක් තරමට ම ඔබ මට ඈත ය. නමුත් ඔබේ සෙනෙහස දිය දහරාවක්ව මවෙත ගලා එන බව නිසැක ය. මා හදවත, මා ආත්මය ඔබේ අසීමිත ප්‍රේමයෙන් පිරී ගොස් ඇතැයි මට සිතේ. ඔබ මට කොතරම් ඈත ද, එතරම්ම ඔබ මට සමීප ය. ඒ ඈත හිමවතේ මීදුමෙන් වට වුණු කඳු අතර පාවෙන නිස්කලංක අමා සුවය රැගෙන මවෙත පැමිණෙන්න ඔබට එක් නිමේෂයක් ලැබේවායි මම ප්‍රාර්ථනය කරමි. මතු අත්භවයක නොවේ. මේ අත්භවයේදී ම...

ආදරණීය පහන්,

ඔබ මගේ ම, මගේ පමණක් ම වූවා නම් කොතරම් හොඳ ද?

මේ ඔබේ තාරා

___________________________
ගායනය – වික්ටර් රත්නායක
ගී පද – සේන වීරසේකර
සංගිතය – වික්ටර් රත්නායක


අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්..


ආදරණීය තාරා,

මේ ජීවිතයේ අප පැතූ දේවලින් කොයිතරම් පුංචි ප්‍රමාණයක්ද අපට ලැබී තියෙන්නේ. ඔයානම් මට කියයි, "මොනවද ඔයාට අඩු, ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා, මං ඒකට අයිති නැහැ කියලා". ඒත් ..ජීවිතයේ තමන්ට තමන්ව ම හොයා ගන්න බැරි වුණු මිනිහෙක්ගේ ශෝකාන්තය ඔයාට වැටහෙන්නේ නැහැ. තමන් තුළ ම තමන් සමග ම අරගලයක යෙදෙන හිතක විලාපය කෛලාස පර්වත කූට දෙදරවන්න තරම් බලවත්.

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ


මගේ ජීවිතයේ සුන්දර ම දවස් ගෙවුනේ ඔයාගේ ඇසුරේ. කල්ප ගණන් පුරා විඳවමින් යන මේ ජීවිතයේ ඔබත් එක්ක අත්වැල් පටලා ආයෙත් ඇවිද යන්න වියතක් තරම් කාලයක් ගන්න බැරිද?

ඔයා කියන විදිහට ලෝකෙ ලස්සන ම පාට තියෙන්නේ හඳ එලියෙ. 

"පහන්, ඇයි ඔයාට ඔයාගෙ හැම චිත්‍රයකට ම හඳ එලියේ තියෙන ලස්සන පාට ගාන්න බැරි? " ඔයා හැමදා ම මගෙන් ඇහැව්වා.

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳපානේ මද අඳුරේ 


අපි අපි ම හදාගත්ත ලෝකවල හිරවෙලා, අපි අපි ම හදා ගත්ත ප්‍රතිරූපවල හිරවෙලා. ඒවා හෙවණැලි වගේ අපේ පස්සෙන් එනවා. ඔයා වැදගත් කුල කාන්තාවක්, කොහොමද මං වගේ විවාහක චිත්‍ර ශිල්පියෙක් එක්ක බැඳෙන්නේ? සමාජය මොනවා නොකියාවිද ? ඒත් තාරා, ඒකද ජීවිතය? 

අපි අපේ හෙවණැලි අතහැරදාලා අපි විතරක් ම හමු වෙමු. කිසිකෙනෙකුට නෑසෙන්නට අපි කොඳුරමු රහසින්. අපි දෙන්නා විතරක් ම අපේ ලෝකයේ..

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ


ඒත් සැබෑ ලෝකය ඊට වඩා වෙනස්, ඒක ඔයත් දන්නවා, මාත් දන්නවා. අපිට ප්‍රසිද්ධියේ කඳුලු සලන්න ඉඩ නැහැ. ඒ හැම කඳුලු බිංදුවක් ම සිනාවක් ඇතුලෙ දියකරලා සඟවලා දාන්න වෙලා තියෙන්නේ.
එක් වෙන්න අයිතියක් නැති සාම්ප්‍රදායික පෙම්වතුන් වගේ "මතු ආත්මයේ හමු වෙමු" කියා කියන්නේ නැතිව මොනවා කියන්නද ?
ඒත් තාරා, මතු ආත්මයට තව කල් තියෙන නිසා,

"අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ"


ලෝකය දැනගත යුතු නැහැ අපගේ ප්‍රේමය, එය හැමදා ම රහසක්  ව තිබුණා වේ. ලෝකය තේරුම් ගන්නෙ කොහොමද, අපේ හැඟුම් ගැන.

- පහන්

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක